“EPF, ETF අනතුරේ” පාඨලී කියයි…

බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරක බවත්, තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙන ණය වලින් 52%ක් ම ලංකා ආණ්ඩුව විසින් ලබාගෙන තිබෙන බවත්, අනෙකුත් තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන්නේ 48% ක් පමණක් බවත්, රාජ්‍ය බැංකු පද්ධතිය පතුලටම හූරා කෑමෙන් නොනැවතී ආණ්ඩුව සේවක අර්ථසාධක සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්වලට ද අත තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

පසුගිය පෙබරවාරි 08 දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයත්, බලශක්ති අර්බුදයත්, ඉතා බරපතල තත්ත්වයකට පත්ව ඇති බවය.

‘EPF, ETF වලින් 25% ක බද්දක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව කියනවා. ඒකටත් අත තියන්න යන්නේ. කොහොමත් EPF, ETF අරමුදල ඉතාමත්ම පහළ මට්ටමෙන් යොදා ගත්තා මහ බැංකුව විසින් තමන්ට ඕනෑ ආකාරයට රටේ පොලී අනුපාතය හසුරුවන්න. ඒ නිසා EPF, ETF වලට දායක වෙලා ඉන්න දස ලක්ෂ සංඛ්‍යාත පිරිස් වලට විශාල අසාධාරණයක් දැනටමත් සිද්ධ වෙලා තියෙනවා. මොකද අඩු පොළි පවත්වාගෙන යන්නේ EPF, ETF අරමුදල් පාවිච්චි කරපු නිසා. දැන් කොරේ පිටට මරේ කිව්වා වගේ ඒ ජනතාව මත්තේම තවත් බදු ප්‍රමාණයක් ඇතුළත් කරගැනීම තමයි මෙයින් සිදුවෙන්නේ’ යැයි ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා ‘පෙට්‍රල්වලින් රු. 60-80 අතර බදු අයකර ගැනීමක් කරනවා. ඩීසල් ලීටරයකින් රු.20-30 අතර බදු අයකර ගැනීමක් කරනවා. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන ඩීසල් සහ අනෙකුත් දැවි තෙල් වල මිල ගණන් එක්ක බලනකොට, අද ලංකා විදුලිබල මණ්ඩලය ඉතාම දරුණු මූල්‍ය අර්බුදයක ඉන්නේ. ඒ වගේම, කොහොමහරි විසිහතර පැයම විදුලිය දෙන්න කියලා දීලා තියෙන නියෝග ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා, 85% තිබුණු ජල විදුලි තත්ත්වය 50% ට වැටිලා තියෙනවා’. යැයිද ප්‍රකාශ කර ඇත.

රටේ භාවිත කළ හැකි, ඩොලර් බවට පත් කළ හැකි සංචිත ප්‍රමාණය භයානක ලෙස පහත වැටී තිබෙන බවත් ඉතිරිව ඇත්තේ ඩොලර් මිලියන 500 ක පමණ ප්‍රමාණයක් බවත් ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා කිසිම විසඳුමකින් තොරව අතමාරු හරහා ගමන් කරමින් සිටින ආණ්ඩුව ‘වැඩ ලක්ෂයක්’ කියමින් බිලියන සිය ගණනක් බොරුවට වියදම් කරමින් සිටින බව ප්‍රකාශ කරයි.

එලබෙන මාර්තු මාසය වනවිට අස්වැන්න පිළිබඳව තියෙන යථාර්ථය එළිවනු ඇති බව ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා ඉන්පසු සල් මිල මීටත් වඩා විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත් ඊට පිළියමක් ලෙස දැන් කරන්නේ අතේ තිබෙන ඩොලර් ටික පාවිච්චි කොට මියන්මාරයෙන් සහ ඉන්දියාවෙන් හාල් ගෙන්වීමට යාම බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම