“13 අපිට එපා” මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

34 වසරකට පෙර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, දෙමළ ජනයා සංහාරය කිරීමෙන් පසුත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පැවසීය.

තිස් හතර වසරකට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාත් සභාවලට එරෙහි වූ නායකයන්ම ඉන්දියාවේ උවමනාවට දැන් එය ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙන බව ප්‍රකාශ කරන ඒ මහතා ‘අවුරුදු 34 කට කලින් 1987 දී 13 වැනි සංශෝධනයත්, පළාත් සභා නීතියත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න හදන කොට අද TNA නායකයා ආර්. සම්බන්ධන් එදා  දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ හිටියේ. එයයි TULF සභාපති සිව සිත්තම්පලම්, අමිර්තලිංගම් තුන්දෙනා එකතුවෙලා රජිව් ගාන්ධිට ලියුම් ලිව්වා 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන්න එපා කියල. එදා නවත්වන්න කියලා ඇයි අද  ඕනෑ කියන්නේ’ යැයි විමසයි.

වවුනියාවේ පැවති දේශපාලන සාකච්ජාවකින් අනතුරුව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘යුද්ධය ඉවර වුනාට පස්සේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකයා TNA නායකයෝ ඔක්කොම හමුවෙලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිගන්න ඕනෑ කියා ඉල්ලා සිටියා. ඒක තමයි දැන් මේ ඇවිත් තියෙන්නේ. මේක දැනගෙන තමා අපි TNA  එකෙන් අයින් වෙලා අවුරුදු 11ක් තිස්සේ ජනතාවට කරුණු පැහැදිලි කළේ. අපි මේකට විරුද්ධයි. 13 වැනි සංශෝධනය කියන්නේ ඒකීය රාජ්‍ය ඇතුලේ ක්‍රියාත්මක වන දෙයක්’ යැයි ද තමන් ඇතුලු තම පක්ෂය දෙමළ ජාතික ජනතා පෙරමුණ 13 ක්‍රියාත්මක කරනවාට විරුද්ධ බවද ප්‍රකාශ කළේය.  ඒකීය රාජ්‍ය තුළ දෙමළ ජනයා මට්ටු කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව අපි කටයුතු කරනවා යැයි ඔහු වැඩි දුරටත් පවසයි.

Social Sharing
නවතම