සුජිත්ට පණහයි ‘ෆිෆ්ටි’ සිතුවම් දැක්ම

සුජිත් රත්නායකගේ සිත්තර ජීවිතයේ හරස්කඩක් විදහා දක්වනවා. එහි ඇති චිත්‍ර බොහොමයක් කලින් දැක ඇති ඒවා වුවත් ඒවා කලකට පසු නැවතත් සජීවී ව දැක ගැනීමට ලැබීම චමත්කාර ජනක අත්දැකීමක්.

සුජිත්ගේ චිත්‍ර අතර වූ තනි රේඛා සිතුවම් කීපය මගේ සිත වඩාත් ඇඳ බැඳ ගත්තා. මා මේ සටහන ලියන්නේ ඒ සිතුවම් දැකීමෙන් මා විඳි අත්දැකීම බෙදා ගැනීම උදෙසා.

සුජිත්ගේ තනි රේඛා සිතුවම් ගැන මගේ කියවීම උදෙසා මා තවත් චිත්‍ර ශිල්පීන් දෙදෙනෙකු කැඳවාගන්නවා. පහත රෑපයෙහි මා ඒ චිත්‍ර ශිල්පීන් දෙදෙනා සමගින් සුජිත්ගේ තනි රේඛා සිතුවමක් ඇතුළත් කළා.

පළමු සිත්තරා ක්‍රි.ව. 4 වන හෝ 5 වන සියවසේ ජීවත් වූ අයෙක්. ඔහුගේ අරමුණ බුදුන් පුදට එන දේවතාවෙකු නිරෑපණය කිරීම. ඔහු සිය රේඛාව තුළින් දේවතාවාගේ ශරීරය පිළිබඳව රසිකයාගේ

විඥානයේ සනිටුහන් වී ඇති රෑපය තවත් තහවුරැ කරන්නට උත්සාහ ගන්නවා. දේවතාවාගේ ශරීරය ගැන අප අසා ඇති දේ මේ රේඛා තුළින් නිරෑපණය වෙනවා. එය මානුෂික ස්වභාවය ඉක්ම වූවක්. මනුෂ්‍යාට නැති සුකුමාළ  ශරීරයක් දේවතාවුන්ට ඇති බවක් ගම්‍ය කිරීමට සිත්තරා උත්සාහ ගන්නවා.

දෙවැන්න ජෝර්ජ් කීට් විසින් අඳින ලද්දක්. එය විසිවන සියවසේ මුල් භාගයට අයත් වූවක්. සිත්තරා එහි දී උත්සාහ කරන්නේ මනුෂ්‍ය ශරීරයේ මානුෂික ස්වරෑපය තහවුරැ කිරීම. මිනිස් සුරැර තුළ ගැබ්වන සුන්දර හැඩතල ඉස්මතු කිරීමෙන් අප තුළ මිනිස් සිරැරට  කෙරෙහි ඇති අශාව වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු රේඛාව හසුරවනවා.

තෙවැන්න සුජිත්ගේ තනි රේඛා සිතුවමක්. ඔහු සුවිශේෂ වන්නේ ඉහත කී සිත්තරැන් දෙදෙනාටම වෙනස් වෙමින් මිනිස් සිරැරේ හැඩතල ගැන අවබෝධයක් ලබා දීමෙන් නොනැවතී සිය රේඛාව ඔස්සේ මනුෂ්‍යාගේ අධ්‍යාත්මය ගවේෂණය කිරීම සඳහා උත්සාහයක් දැරීම. හුදෙක් ශරීරය ගවේෂණය කිරීමෙන් ඔහුගේ රේඛාව නවතින්නේ නැහැ. එය  ඉතා තීව්‍ර ලෙස මිනිස් ශරීරයේ හැඩතල ඉක්මවා යමින්, මිනිසා යනු හුදෙක් බාහිරට පෙනෙන ශරීරය ඉක්මවා ගිය ප්‍රපංචයක් බව විදාරණය කරනවා.

මිනිසාගේ අභ්‍යන්තරය ගවේෂණය කිරීම නූතන යුගයේ කලාකරැවාගේ වගකීම බව මා විශ්වාස කරනවා. එය කළ හැක්කේ දෘෂ්ටිමානය ඉක්මවන දැක්මක් විෂද කිරීමෙන්. සුජිත් සිය සිතුවම් ඔස්සේ මේ වගකීම සිය උර මතට ගෙන සිටිනවා.

සුජිත්, මේ ලබා දුන් අත්දැකීමට ස්තුතියි!

කලාවක් විය හැකි ය, නිදර්ශනයක් විය හැකි ය.

අරුණ ප්‍රේමරත්න

 

( සුජිත් රත්නායක ගේ චිත්‍ර ප්‍රදර්ශනය 28/29/30 දින තුන තුළ ජේ. ඩී. ඒ කලාගාරයේදී පැවැත්වේ..)

Social Sharing
නවතම විශේෂාංග