ඉන්දීය මැදිහත් වීමකට දෙමළ-මුස්ලිම් පක්ෂ සුදානමක්!

ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉන්දියාවේ සෘජු මැදිහත් වීමක් ඉල්ලා සිටීමට දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණය කර තිබේ.

බලය විමධ්‍යගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමට ඉදිරිපත් වන  ලෙස කෙරෙන මෙම ඉල්ලීම ඉදිරි සති කීපය තුලදී දෙමළ ජාතික සන්ධාන නියෝජිත මණ්ඩලයක් විසින් ඉන්දීය රාජ්‍ය නායකයා අතටම බාර දෙනු ඇතැයි අපේක්ෂිතයි.

පළාත් සභා පිහිටුවා බලය බෙදා හැරීම නීතිගත කෙරුණු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටේ ව්‍යවස්ථාවට ඇතුලත් කරගන්නා ලද්දේ 1987 අත්සන් කෙරුණු ඉන්දු – ලංකා ගිවිසුම අනුවය.

එය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඉන්දියාවට දීමට ලියවිල්ලක් සකස් කිරීමට දෙමළ කතාකරන ජනතාව නියෝජනය කරන පක්ෂ ගණනාවක් එකඟතාවකට පැමිණ තිබේ.

සහභාගී වුවන් විසින් එම සාකච්ඡාව හඳුන්වන ලද්දේ ඓතිහාසික එකක් ලෙසිනි.

දෙමළ කතාකරන ජනතාවගේ දැවෙන ප්‍රශ්න අටක් ලියැවිල්ලට පදනම් වී ඇති බව ටෙලෝ සංවිධානය  කියා තිබේ.

“අපේ බලාපොරොත්තුව මේ රටේ එකට ජීවත් වෙන්න, නොබෙදුනු ලංකාවක් තුළ ජීවත් වෙන්න,” යයි දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් සාකච්ඡා හමාරවූ පසු මාධ්‍යවේදීන් අමතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ග්ලෝබල් ටවර් හමුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර්, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන්, දෙමළ ජාතික මහජන සංසදයේ නායක සී.වී.විග්නේශ්වරන්, එක්සත් කම්කරු සංගමයේ පලනි දිගම්බරම්, සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අමීර් අලි, ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික සන්ධානයේ හවුල් කාර පක්‍ෂ වන දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක සෙල්වම් අඩයික්කලනාදන් තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා හා ප්ලොට් සංවිධානයේ රාඝවන් සහභාගි වී තිබේ.

Social Sharing
නවතම