බාලගිරි දෝෂයට හසු වෙන රස පරීක්ෂක වාර්තා!

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය මුද්‍රා තැබුයේ ඉකුත් ජුනි 28 වෙනිදාය. ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

කොළඹ 01, නව මහ ලේකම් ගොඩනැගිල්ලේ තුන් වැනි මහලේ පිහිටි මෙම නඩු භාණ්ඩ කාමරය ගැන දැන් මුලු රටම කථා කරන්නට පටන් ගෙන ඇත. ඒ එහි තිබු මත්ද්‍රව්‍ය රැසක් මේ වන විට අස්ථාන ගත වී ඇතැයි අනාවරණය වීම නිසාය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය කරළියට ආවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් රැසක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති බවට කරුණු අනාවරණය වීමත් සමඟිනි. මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින පොලිස් නිලධාරීන් අතර මෙම නඩු භාණ්ඩ කාමරය භාරව සිටි පොලිස් නිලධාරියෙකුද සිටින්නේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තැබු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය ඊයේ (09) යළි විවෘත කෙරුණි. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝගයක් මත රජයේ රස පරීක්ෂකවරයාට මෙම කාමරය පරික්ෂා කිරීම සඳහාය.

ඒ අනුව රජයේ රස පරික්ෂකවරයා ඇතුලු කණ්ඩායමක් පෙරවරු 10 ට පමණ නඩු භාණ්ඩ කාමරයට ගොස් පැය 5 ක පමණ කාලයක් සෝදිසියට ලක් කර ඇත. මෙම නඩු භාණ්ඩ කාමරයේ හෙරොයින් සහිත ගෝනි 15 ක් තිබී ඇත.

එහිදී අධිකරණයෙන් ලබා දී තිබු නියෝග ප්‍රකාරව මෙම ස්ථානයේ නඩු භාණ්ඩ වල මුද්‍රා කඩා තිබුණේද?, ඒවාට ආගන්තුක ද්‍රව්‍යයක් මිශ්‍ර කර තිබේද?, එසේ මිශ්‍ර කර තිබේ නම් ඒ මොනවාද?, විෂ මත්ද්‍රව්‍ය අඩංගු ඒවා වල ආවරණ කඩා නැවත පාර්සල් කර ඇත්ද?, පසුව නැවත ඒවා සීල් කර ඇත්ද? සහ වෙනත් නිගමයන් මොනවාද වශයෙන් කරුණු හයකින් සමන්විත ප්‍රශ්නාවලියකට පිලිතුරු සපයා මෙම වාර්තාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත්තේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත හා එහි අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සේනරත්ගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගැනීමට නියමිතව ඇත.

කෙසේ නමුදු සාමාන්‍යයෙන් රජයේ රස පරීක්ෂක වෙත යවනා සාම්පල වල රස පරික්ෂා වාර්තාව ලැබීමට දිගු කලක් ගත වන්නේය. මෙලෙස රස පරික්ෂණ වාර්තා ප්‍රමාද වීමෙන් බන්ධනාගාර වල සැකකරුවන් රැසක් අදටත් වසර ගණනක් පුරා සිටින්නෝද වෙති. එහෙයින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ රස පරික්ෂක වාර්තාවටත් එම ප්‍රමාදයම බලපෑම් කරනු ලැබුවහොත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට එය බාධාවක් වන්නේය.

අප රටේ සෞඛ්‍ය අංශ දියුණු වුවත් තවමත් රස පරික්ෂක දෙපාර්තමේන්තුව දියුණු කර නැත්තේය. නමුත් අත්‍යවශ්‍ය වන්නේද එයය. එහෙයින් රස පරික්ෂක දෙපාර්තමේන්තුව බාල ගිරි දෝෂයෙන් මිදී ඉදිරියේදි කටයුතු කළ යුතුව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම