ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවේදී මිය යයි!

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමතිලක අමරවීර පොලිස් අත්අඩංගුවේ දී මියගිය පුවතක් හුංගම පොලීසියෙන් වාර්තා වේ.

62 හැවරිදි ඒ මහතා ඊයේ ( දෙසැම්බර් 18) දින හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝහෝ දින මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මතය.

අදාළ සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන විත් මද වේලාවකින් පසු සිර මැදිරිය තුළ ඇද වැටී ඇති අතර ඔහු වහාම රෝහල්ගත කිරීමට කටයුතු කළත් ඒ අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව විසින් ප්‍රකාශ කරන ලදී.

මෙම සැකකරු සිරමැදිරිය තුළ සිටියදී

බිම ඇදවැටෙන ආකාරය සී.සී.ටී.වී. කැමරා මගින් පටිගත වී තිබේ. එම දර්ශන ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කොට තිබුණි.

එසේම මෙම මරණය සැකසහිත බවට පවසමින් මියගිය මන්ත්‍රීවරයාගේ ඥාතීන් විසින් රෝහල් භූමිය තුළ විරෝධතාවයක් පැවත්වා ඇත. පසුව එම පිරිස කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් ද විරෝධතාවක නිරත විය.

මියගිය සැකකරුගේ මෘත දේහය රන්න රජයේ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කර ඇති අතර පසුව හදිසි මරණ පරීක්ෂණයක් සඳහා එය හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

යශෝදරා වීරසිංහ

Social Sharing
නවතම