ගෑස් මරුවාට විසඳුමක් නෑ, ප්‍රමිතිය ගැන සාකච්ඡාවත් දෙසැ: 20ට ගිහිං

තැන තැන ගෑස් පිපිපිරීම් නිසා මරණ සහ තුවාලවීම් වාර්තා වුණත් ආණ්ඩුවට තවමත් ගෑස් මාරයාගෙන් ජනතාව ගලවා ගන්නට නිසි විසඳුමක් සහ වැඩපිළිවෙලක් නොමැත. පසුගිය නොවැම්බර් පළවෙනිදා සිට රට තුළ ගෑස් පිපිරීමේ සිදුවීම් 727 ක් වාර්තා වී ඇති අතර පසුගිය 15දා පෙරවරු 6න් අවසන් වූ පැය 24 ක කාලය තුළ පමණක් ගෑස් පිපිරීම් 24 ක් වාර්තා වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයේ ප්‍රමිතියට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් පාරිභෝගිකයා වෙත බෙදාහැරීම සිදු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දෙසැම්බර් 15දා අභියාචනාධිකරණය වෙත දැනුම් දී තිබේ. අනාරක්ෂිත ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම් සහ ඊට වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කොට තිබුණි. එකී පෙත්සම අධිකරණය ඉදිරියේ කැඳවූ  අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හර්ෂ අමරසූරිය මහතා මේ බව අධිකරණයට දැනුම් දී තිබේ.

ලිට්‍රෝ සමාගම එසේ කීවද එම සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ගෑස් මෙට්‍රික්ටොන් 3,700ක ප්‍රමාණයක් නෞකාවෙන් ගොඩ බෑම පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්හිටුවා තිබේ. එයට හේතුව එම ගෑස් තොගයේ ප්‍රමිතියද ගැටලුකාරී වීමයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන ගණනාවකින් සමන්විත ඒකාබද්ධ විශේෂ තාක්ෂණික කමිටුවක් හරහා අදාළ ගෑස් තොගය නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරු කොටගෙන තිබේ. එම ගෑස් තොගයේ ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත පරිදි අඩංගුවී තිබුණද, ගෑස් ගන්ධය වහනය වීම සඳහා යොදන ‘එතිල් මර්කැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොමැති වීමෙන් අදාළ ගෑස් මෙට්‍රික්ටොන් 3700 තොගය මෙලෙස ගොඩබෑම අත්හිටුවා තිබේ.

මීට පෙර ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් නෞකාවක, ගෑස් මෙට්‍රික්ටොන් 3200ක ප්‍රමාණයක් ද ප්‍රමිතියෙන් තොර වීම නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගොඩබෑම අත්හිටුවන ලදී. එම නෞකාවේ ගෑස්වල ද ‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවීම නිසා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදු කළ රසායනාගාර පරීක්‍ෂාවෙන් අසමත් වී තිබේ. ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම ආනයන කළ නෞකා දෙකක අඩංගු ගෑස් මෙට්‍රික්ටොන් 7000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොරවීම නිසා මේ වන විට වරායේ සිරවී තිබේ. මෙම තත්ත්වය තුළ රට පුරා නැවත ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් ප්‍රකාශ කර සිටිති.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු නිවැරදි ගෑස් සංයුතිය පිළිබඳව නියමිත ප්‍රමිතියක් දැනට නොමැති බවත්, එහි තිබිය යුතු සංයුතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ලබන 20දා පැවැත්වීමට නියමිත බවත් ජනාධිපති නීතිඥවරයා ඉහත සඳහන් නඩුවේදී වැඩිදුරටත් පැවසීය. ඒ අනුව දැනට ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් වෙළෙඳපොළ වෙත මුදාහරිමින් තිබෙන බවද ඔහු පැවසීය. හදිස්සියේ රැස්වී තීරණය කළ යුතු දේ ප්‍රමිති කාර්‍යාංශය එලබෙන 20 දක්වා කල් දැමීම ප්‍රශ්නයක් බව පාරිභෝගික මතයයි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම මගින් ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න, වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන,  පාරිභෝගික ආරක්ෂණ  රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිට නියෝග කරන්නැයි ද ඉල්ලා තිබිණි.

යශෝධරා වීරසිංහ

Social Sharing
නවතම