බැසිල් අගමැතිවූ පසු ලංකා සිතියම අතුරුදහන්!

ඇත්තටම අපේ රටේ ඊළඟ අගමැති කවුද? මේ කියන්නේ 2024 ඡන්දයෙන් පත්වෙන අගමැති ගැන නෙවෙයි. 2022 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ පත්වෙන්න අගමැති ගැන. ඒ සම්බන්ධව සාකච්ඡාවක් දැන් රටේ තියනවා. ඇත්තටම මේවා ඕපපාතික පහල වෙන කථා නෙවෙයි. බොහොම සංවිධානාත්මකව Plant කරන දේශපාලන කතා. ඉස්සරහදී අල්ලන්න හදන දේශපාලන අඩව්වක ආරම්භක කසකාරයෝ තමයි ඔය හදිසියේ එළියට පනින්නේ.

ඒවා විග්‍රහ කරගන්න බයියන්ට වගේම ටොයියන්ටත් අමාරුයි. අමාරුයි නෙවෙයි බෑ. ඒක නිසා මේ චිත්‍ර පාට කරලා රටට පෙන්වීම රටේ රාළගේ වගකීමක් වගේම යුතුකමක්. දැන් සාකච්ඡාව තියෙන්නේ ඊළඟ අගමැති රනිල්ද?බැසිල්ද කියලා. Sorry අප්පච්චි වීසි වෙන්න තියෙන ඉඩ වැඩී. ඒත් අප්පච්චි Ceremonial Leader කෙනෙක් කරලා පැත්තකින් තියයි. මොකද දැන් මෙතනින් එහාට ගොඩක් දේවල් තීරණය කරන්නේ රාජපක්ෂල පවුල නෙවෙයි. අපට තවදුරටත් එහෙම පෙනෙයි. ඒත් ඇත්තටම ඒක තීරණය කරන්නේ රාජපක්ෂ පවුල පිටිපස්සේ තියන ජාත්‍යන්තර බලවේග විසින්. මෙතනදී රාජපක්ෂලාට තියෙන්නේ එකම එක සිද්ධාන්තයයි. ඒ රාජපක්ෂලාගේ බලය ආරක්ෂා විය යුතුයි කියන සිද්ධාන්තය විතරයි. ඒක වෙනවා නම් පවුලේ කෙනෙක් ඇර ඕනී දෙයක් දෙන්න එයාලා ලෑස්තියි. ඒ වෙනුවෙන් ඇත්තටම දැන් ජාත්‍යන්තර මෙහෙයුමක් ක්‍රියාත්මකයි, ඒකේ කස කාරයෝ දෙන්නෙක් එළියට පැනලා ඉවරයි.

ඒකක් තමයි අගමැති රනිල්ද, බැසිල්ද කවුද කියන සාකච්ඡාව. අනික තමයි IMF යනවාද නැද්ද කියන සාකච්ඡාව. ඔය මාතෘකාව දෙක තමයි අපේ රටේ ඊළඟ දේශපාලන වෙනස කරන මාතෘකා දෙක. බැසිල් ඇමරිකාවේ ගියේ නත්තල් නිවාඩුව ගත කරලා එන්න කියලා හිතන පුංචි ළමයින්ට මේ කතාව අදාළ නෑ. ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනි. ඒ අය මේ තර්කයත් එක්ක පැටලෙන්න එපා. අපරාදේ රටේ රාළගේ කාලය. රටේ රාළ මීට මාස ගානකට උඩදී කියපු කතාවක් මේ කතාවට අදාළ කරගන්න ඕනි. ඒ තමයි රටේ රාළ කිව්වා දැන් අපි ජාත්‍යන්තර දේශපාලන බලවතුන් තුන් දෙනෙක්ගේ දඩබිමක් වෙලා ඉවරයි කියලා. ඇමරිකාව, චීනය, ඉන්දියාව කියන දැවැන්තයන්ගේ ග්‍රහනයට දැන් අපි අහුවෙලා ඉවරයි. මෙතනදි ඉන්දියාව ඇමරිකාව ඉන්නේ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක. චීනය ඉන්නේ වෙනම ක්‍රියාමාර්ගයක. ලෝකය ඉස්සෙල්ලා තියන බල අරගලය කියන්නේ මේකට තමයි.

බලවතුන් අතර කොහොමද ලෝකය බෙදා ගන්නේ කියන සටන තමයි මේ. ඒකෙදී ලංකාව මෙච්චර වැදගත් ඇයි? ඇත්තටම එදාට වඩා අපි අද ලෝකයට වැදගත්. ඒකට හේතුව තමයි චීනයේ ලෝකය අල්ලන සැළසුම. චීනය නව සේද මාවතක් Develop කරමින් ඉන්නවා. ඒකේ ආරම්භ ගේට්ටුව අපි. එක යුරෝපයේ දක්වා විහිදෙනවා. ඒක නිසා චීනයට අපි වැදගත්. චීනා ඒකට මහින්ද කියලා කෙනෙක් බලයට ගෙනාවා. ගෙනත් හම්බන්තොට වරායක් හදලා ඒක අයති කර ගත්තා. දැන් කවුරු හරි කියයි චීනට හම්බන්තොට වරයා දුන්නේ රනිල් කියලා. රනිල් නෙවෙයි මහින්ද හිටියත් වෙන්නේ ඕක. ඊළඟට චීනා තමන් වෑදගත්ම තැනකින් දුපත් හදලා ඒකට වරාය නගරය කියලා තමන්ගේ කෙටස වෙන් කරගත්තා. පහුගිය කාලේ ලංකාවේ සියලු ව්‍යාපෘති කළේ චීනා. චීනට හම්බන්තොට වරාය දියුණු කරගන්න හම්බන්තොට හා කොළඹ අතර අධිවේගී මාර්ගයක් ඕනෑ වුණා.

ණයක් දීලා ඒක හදවලා චීනා පොලියයි ලාභයයි දෙකම ගත්තා. නැත්තං අපේ රටේ පළවෙනි හයිවේ එක හදන්න ඕනි උතුර හා කොළඹ යා කරලා. ඒවා කරගන්න රඡ පවුලට චීන සැප දුන්නා. හැබැයි ඇමරිකාව, ඉන්දියාව මේක ඉවසුවේ නෑ. ලෝකය ඉස්සරහා චීනා නැගිටීම පරාජය කරන්න එයාලා ලෝකය පුරා සැලසුම් හදනවා. ඉතින් චීන සේද මාවතේ පළවෙනි ගේට්ටුව නොගහ හිටීද? කොහොමද ගැහුවේ කියලා තවමත් ඔයාලට හිතාගන්න බැරිව ඇති. ඒක රටේ රාළ වරින් වර කියලත් ඇති. එයාලා ඒක කළේ ගෝඨාභය කියන හිටපු ඇමරිකන් පුරවැසියා ලංකවේ ජනාධිපති කරලා. අපේ රටේ දේශප්‍රේමීන් කියන ගොබ්බයන්ගේ කර මතින් තමයි ඒක කළේ. ඊළඟ පියවර තමයි ඇමරිකන් පුරවැසි බැසිල් මුදල් ඇමති කිරීම. ඒක තමයි බටහිර Project එකේ උච්චතම අවස්ථාව. බැසිල් තමයි මේ ආණ්ඩුවේ බලවතා. ඒ කියන්නේ ඇමරිකා – ඉන්දියා මෙහෙයුම තමයි මේ ආණ්ඩුව ඇතුළේ  බලවත්.

බැසිල් ආව ගමන් මොකද උනේ. චීනය පැත්තේ දොර වැහුවා. වැහුවා කියන්නේ අගුලු දාලම වැහුවා. හැබැයි බැසිල් එක දෙයක් දන්නේ නෑ. ඒ තමයි චීනයට මේ අඟුල කඩන එක Simple කියන එක. චිනා දොරට පයින් පාරවල් දෙකකුත් දැන් ගහලා ඉවරයි. ඒ ගැන මේ ලිපියේ ඉස්සරහදී කියන්නම්. ඊළඟට බටහිර කළේ රට බංකොලොත් කිරීම. ඒක කරන්න ඕනි තරම් නිළධාරින් එයාලා ස්ථාන ගත කරලා තියෙන්නේ. අද විමල්ලා බනින පීබී කියන්නේ එක්කෙනෙක් විතරයි. එහෙම ගොඩක් මේක ඇතුලේ ඉන්නවා. රටේ රාළ කියලා ඇති ගොඩක් Green Card කාරයෝ එහෙම අය. Pathfinder කාරයෝ එහෙම අය. විමල් කියන්නෙත් ඒ බටහිර Project එක කර තියාගෙන යන මෝඩ ඉත්තෙක් විතරයි. හැබැයි විමල් ඒක කරන්නේ දන්නේ නැතිව වෙන්න පුළුවන්. ඇත්තටම රට බංකොලොත් කළේ ඒ සැලැස්මට අනුව. ඒක මහ සහගහන අපරාධයක්.

එහෙම කරලා දැන් අපි ඉස්සරහා සාකච්ඡාව හදනවා රට බංකොලොත්. එකම උත්තරය IMFයන එක විතරයි කියලා. ගිහින් ණය ප්‍රති ව්‍යුහ ගත කරගැනීම විතරයි කියලා. දැන් කැබිනට් එකේ සාකච්ඡාව යන්නේ IMF යනවද නැද්ද කියලා. මේවා මේ නියම තිර පිටපත්. හැබැයි ඕකේ ඉන්න බයි ඇමතිලා ඒවා දන්නේ නෑ. එයාලාට වෙලාවට කට්ට වැටෙනවා නං ඇති සූප්පු කරන්න. හැබයි රාජපක්ෂ තුන් කට්ටුව ඒක නියමෙට ප්ලෑන් කරනවා. ඇත්තටම මෙයාලා IMF යනවා. ඒකට ගහන ප්ලෑන් එක තමයි ඔය. IMF යන්න ඕනි කියන කතාව ඉස්සෙල්ලා කිව්වේ රනිල්. ඊළඟට හර්ෂ. ඊට පස්සේ එරාන්, දැන් දයාසිරි. හරි නේද Parth එක. කොහොමද වැඩේ එළියට ගත්ත විදිහ. ඒකට ඉස්සෙල්ලාම හදපු කතාව තමයි රනිල් අගමැති කරනවා කියලා. ඇත්තටම ඒක තමයි ඒ යෝජනාවේ හොදම එක. හැබැයි ඒක වෙයි කියලා රටේ රාළ හිතන්නේ නෑ. මොකද රනිල් ඒකට උදව් කරයි. ඒත් අගමැතිකම බාර ගන්න එකක් නෑ. රනිල් අගමැතිකම බාර ගනී ඊළඟට ජනාධිපති අපේක්ෂකකම දෙනවා නම්.

ඉතින් ජනාධිපති අපේක්ෂකම බැසිල් දෙයිද රනිල්ට. එහෙනම් ඊළඟට අගමැති කවුද කියලා දැන් පැහැදිලි ඇති. ඇත්තටම රනිල් හා බැසිල් අතරින් අගමැති වීමේ වැඩ් සම්භාවනාව තියෙන්නේ බැසිල්ට. හැබැයි කවුරු අගමැති උනත් මේ ටික වෙනවා. ඒක මතක තියාගන්න. අමතක වෙයි නං ලියලා තියාගන්න. IMF එක අර සහන් විතානද මොකද්ද කියන පොඩි ළමයා කියන විදිහට අපේ කොන්දේසි වලට යටත් වෙලා ණය දෙන්නේ නෑ. එයාලා ගොඩක් කොන්දේසි දායි. හැබැයි එයාලා දාන එක බරපතල කොන්දේසියක් රටේ රාළ දැන් කියන්නම්. ඒක දේශපාලන කොන්දේසික්. ඒ තමයි චීන Project එකෙන් අයින් වෙන්න ඕනි කියන කොන්දේසිය. චීනයේ නව සේද මාවටත ගහන කොන්දේසිය. එයාලා බංගලිදේශයට ඒ කොන්දේසිය දැම්මා. දාලා බංගලිදේශය චීනයෙන් සම්පුර්ණයෙන්ම ගැලෙව්වා. දැන් පකිස්ථානයටත් එහෙමයි. රටේ රාළ හිතනවා බැසිල් ඒ කොන්දේසිට එකඟ වෙලා ඉන්නේ කියලා.

ඒත් බැසිල් කවදාවත් ඒක ප්‍රකාශයට පත් කරන්නේ නෑ. ඒක මේ යන දේශපාලනය ඇතුළේ අපි විග්‍රහ කරගන්න ඕනි දෙයක්. කොහොම හරි ඒ කොන්දේසිට එකඟ නම් IMF එක අපේ ණය ප්‍රති ව්‍යුහ ගත කරලා දෙයි. සමහරවිට අවුරුදු පහක විතර ග්‍රේස් පීරියඩ් එකකුත් දෙයි. අවුරුදු පහක් කියන්නේ 2026. ඒ කියන්නේ බැසිල්ගේ ඉරණමත් විසදිලා ඉවරයි. ඇත්තටම බටහිරට දැන් රනිල් වැඩක් නෑ. බටහිරට ඕනි බැසිල්. බැසිල් එක්ක 2030 වෙනකං යන්න එයාලා Plan කරනවා ෂුවර්. 2024 ගෝඨාභයගේ Chapter Close. නාමල් නිකම් 2035 වීසි වෙනවා. මහින්ද ජීවතුන් අතර සිටියදී පුතාට කිරුළු පරදන හීනේ බොද වෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා ආයෙත් ඇමරිකා යනවා. ඕවට අදාළ පොඩි පොඩි ගැටුම් පවුල ඇතුළේ ඇති.ඒ මහ කතාව ඕක. ඇත්තටම ඒක හරි ලස්සන කතාවක්. සමහරු මේ කතාව අහලා පට්ට ජොලියක් ගනී. ගන්න මහත්වරුනි එහෙම ජොළියක් ගන්න. ඒක ඔබේ අයිතියක්.

හැබැයි ඒ ජොලිය තියෙන්නේ චීනා අර දොරේ අඟුල කඩාගෙන ඇතුල් වෙනකං විතරයි. රටේ රාළ කිව්වා චීනා දැන් දෙපාරක් දොරට පයින් ගැහුවා කියලා. එකක් තමයි චීන පෝර නැවේ ප්‍රශ්නයට චීනා අපිත් එක්ක තරහා උනා. අපේ චීන ව්‍යාපාරය වැට්ටුවා. මහජන බැංකුව Black list කළා. ඔය වගේ පෝර නැවක් කියන්නේ චීනයට මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ චීනයේ තියෙන පොඩි ගමක් වගේ එකක්. අනික තමයි චීන තානාපති ඊයේ පෙරේදා උතුරේ සංචාරය කළා. ඒ තමයි චීනා දොරට පයින් ගහපු දෙවෙනි විදිහ. චිනා ඒ කිව්වේ මට අඟුල කඩන්න පුළුවන් කියලා.

ඇෆ්ගනිස්ථානයේදී චීනා ඇමරිකන් දොරේ අඟුල කඩලා පෙන්නුවා.ඒකට රුසියාවත් උදව් කළා. ඔයාලා හිතනවා නම් චීනය අකුළගෙන පල්ලම් බහී කියලා ඔයාලා තවමත් දේශපාලනයේ ළදරුවෝ. පුළුවන් නම් අපේ චීන තානාපතිට ඔහොම රවුමක් චීනේ ගිහින් එන්න කියන්නකෝ.

දැන් චීනය ලෑස්ති හොදින් නැත්නම් නරකින් හරි ප්‍රශ්නය විසඳා ගන්න. ඒක නිසා රාජපක්ෂලා දැනට රට බංකොලොත් කරලා වගේම රටේ ස්වෛරීත්වය නැති රටක් කරලා ඉවරයි. චීනය, ඇමරිකාව, ඉන්දියාව තමන්ට හිතෙන හිතෙන සෙල්ලම් අපේ මව් පොළොව උඩ දානවා. අපේ ජනාධිපතිත් මම තමයි හොඳටම කළේ කියලා ජනාධිපති මන්දිරේ ඉන්නෙත් නැතිව ඒ දිහා හැංගිලා බලා ඉන්නවා. කොහොම හරි මේවා බලා ඉන්න තරමට අද අපේ ඇස් අවාසනාවන්ත වෙලා. ඒත් තව ටික දවසකින් බටහිර හා චීනය ගහගන්න කොට ඒක මැද්දට කොටු වෙලා අපට මැරුම් කන්න වෙනවා.

බැසිල් අගමැති වෙනවා කියන්නේ ඒ කතාවේ ආරම්භය පියවර. හැබැයි ඔයාලට වගේ එදා වෙනකම් යුද්ධය දැකලා මැරෙන්න රටේ රාළ නං වාසනාවන්ත වෙන එකක් නෑ. ඊට ඉස්සෙල්ලා ඒ බිල්ල මෙයාලා ගනී කියලා රටේ රාළට දැනෙනවා.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

 

මීට

රටේ රාළ.

(ප්‍රියන්ජිත් විතාරණ)

Social Sharing
නවතම