මාස දෙක තුනක ඉඳලා වැහිවතුරට දියවෙන තලේමන්නාරමේ මිනිස් ජීවිත

හමුදා පාලනයක් ද තියෙන්නේ කියලා හිතට වද දෙන චෙක් පොයින්ට්ස් කීපයක් පහුකරලා පසුගිය 13දා හවස් වෙනකොට අපි තලෙයිමන්නාරමට ආවා. ඇත්තටම අපි මුලින්ම හිතුවේ මන්නාරම නගරයේ නවාතැනක නතර වෙන්න. ඒත් ඉන්දියාවට යකඩ රේල්පාරක් දික්කරගෙන අතීත යටත්විජිත නටඹුන් අත්දෙකට අරං බලන් ඉන්න පියර් එකට බැඳුන ආදරය නිසාම ගමන රබර් කරලා තලෙයිමන්නාරමට ආවා. ඒත් හිතපු නැති ඇබැද්දියක්..!

නවාතැනක් හොයාගන්න විදිහක් නෑ.. තිබුණ ඒවත් කිසි කමක්කාරියක් නෑ. අන්තිමට අපි තලෙයිමන්නාරම අමතක කරලා පේසාලෙයි පැත්තට එන්න තීරණය කළා. ඒ අතරේ අපි පියර් එකට යාව තියෙන මිතුරෙකුගේ ගෙයක් හෙව්වා. හලෝ කියලා යන්න. මිතුරා විශාල ප්‍රශ්නයක. අපි ගේ පේන මානයට ඇවිත් ගෙදරට නොයා ඔහු හා කතා කළා. ඇත්තටම අපි ඔහුගේ දුක අහගෙන හිටියා.

යාලුවාගේ ගෙදර ජලයෙන් යටවෙලා. කතාවේ හැටියට මේ යටවීමට මාස දෙකට වැඩී. මහා වැස්සට පහත්බිමට එකතුවුණ වතුර තවමත් බැහැලා ගිහිං නෑ. ගෙවල් යටකරගත්‍ත වැහි වතුර පෙඳ පාසි වවාගෙන ඔහේ බලන් ඉන්නවා.. අපායක් වගේ කියලා තමයි මට නම් හිතුනේ.

කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ? දකුණේ ඉඳලා උතුරට ආපු අපේ පළවෙනි ප්‍රශ්නය..

‘මොනවා කරන්නද? වතුර බැහැලා යන්නේ නෑ. පාර හදනකොට වතුර බැහැලා යන තැන් වැහිලා. ගොඩක් තැන්වල ඒකයි හේතුව’

යුද්ධය නිමාවුණාට පස්සේ තලෙයිමන්නාරමට ආපු සංවර්ධනයේ මහිමය තමයි මේක. මේ මිනිස්සුන්ගේ මේ ප්‍රශ්නයට අපිට මොනාද කරන්න පුලුවන් කියලා හිතමින් අපි පේසාලේ පැත්තට ආවා. ඒ එනකොට ගොඩාක් තැන්වල ගංවතුර වටකරලා දූපත් කරපු ගෙවල් ඕසෙට දැක්කා. බූරුවෝ කාපට් පාරට ගොඩවෙලා වතුරට යටවෙලා ඉන්න මිනිස්සුන්ට නක්කලේට වගේ හිනා වෙනවා. උබලා අපිටත් වඩා බූරුවෝ නේද? කියලා උන් අපෙන් අහනවා කියලයි මටනම් හිතුනේ.

පේසාලේ අපි නවතින්න ආපු හෝටලය වටේටත් තවමත් වතුර. ගංවතුර නැතිනම් වැහිවතුර එකතුවීම නිසා වහලා දාපු හෝටලය මාස දෙකක් වැඩී තවමත් වහලා.

මේ වතුර බස්සන්න ප්‍රාදේශීය සභාව මොකවත් කරන්නේ නෑද? මම අපිට මුණගැහුන බොහෝ දෙනෙකුගෙන් ඇහුවා. ගොඩක් දෙනෙක් කිව්වේ බළධාරීන්ට මේක පේන්නේ නෑ කියලා. තලෙයිමන්නාරම කියලා කියන්නේ හුණුගල් මත ඉදිවුණ නගරයක්. මන්නාරම් දූපතම එහෙමයි. ඉතිං වැහිවතුර එකතුවුණාම ඒක පොළවට උරාගන්න ටිකක් කල් යනවා. ඒත් අද තියෙන තාක්ෂණය අනුව බලධාරීන් හිතනවා නම් මේ එකතුවෙන ජලය මුහුදට බස්සන්න ක්‍රමයක් හදාගන්න, අමාරු නෑ. ඒත් මෙහේ ප්‍රාදේශීය දේශපාලකයින්ට හෝ රාජ්‍ය නිළධාරීන්ට ඒගැන වගේ වගක් නෑ.

ඉතිං මේ මිනිස්සු ගෙවල් යටකරගෙන පෙඳපාසි අලවගෙන හිනාවෙන වැහිවතුර, ගේ අස්සට දාගෙන අපා දුක් විඳිනවා. වන්කාලෙයිපාඬු, පේසාලේ, නඩුක්කුඩා, තලෙයිමන්නාරම, තලෙයි මාන්නාරම, පියරය මේ හැමතැනකම මිනිස්සු මේ වැහි වතුර එකතුවීම නිසා විශාල විදිහට දුකට වේදනාවට පත්වෙලා. ඒත් බළධාරීන් තවමත් නිදී.

-කේ. සංජීව-

සේයාරූ පහතින්…

Talaimannar affected by floods

Talaimannar affected by floods

Talaimannar affected by floods

Talaimannar affected by floods

Talaimannar affected by floods

Talaimannar affected by floods

Talaimannar affected by floods

Talaimannar affected by floods

Social Sharing
නවතම විශේෂාංග