ග. ඤා.  හිමිගේ තර්ජනය  හෙළා  දකිමු!

අපේ ජනාධිපතිතුමා විසින් “එක රටක් එක නීතියක්” හැදීමේ කටයුත්ත භාරදී තිබෙන ග.ඤා. හාමුදුරුවන් රත්නපුරයේ මිනිපුර තපෝවනයේ රතන හිමියන්ටත් කිරුලපනේ ධම්මවිජය  හිමියන්ටත් කර තිබෙන තිබෙන තර්ජනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා නැගී සිටිය යුතු බවත් යටකී තරුණ භික්ෂූන්වහන්සේ දෙනමගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් මාගේ අදහසය.

(ග. ඤා. හාමුදුරුවන්ගේ නම මෙහි මෙසේ ලියන්නේ උන්වහන්සේට අපහාස කිරීමේ අරමුණින් නොව සමාජ මාධ්‍ය තත්වයක් හේතුකොට ගෙනය.)

ග.ඤා හිමි රතන හිමිටත් උන්වහන්සේගේ මිත්‍ර කිරුලපන  ධම්මවිජය හිමිටත් අශෝභන ලෙස බැන වැද තර්ජනය කරන්නේ ‘භික්ෂූන් වහන්සේ දේශපාලනය නොකළ යුතුය යන අදහස රතන හිමි විසින් වීඩියෝවක් මගින් ප්‍රකාශ කරනු ලැබීම හේතු කොට ගෙනය.

මාගේ පුද්ගලික ජීවිතයේදී නොව මහජන ජීවිතයේදී මා මුල් තැන දෙන්නේ ආගමට නොව දේශපාලනයටය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයටය. එවැනි දේශපාලනයක් කරන කෙනෙකුට තවත්  කිසිම කෙනෙකුගේ  දේශපාලනය කිරීමේ අයිතියට වැට බැදීමට අයිතියක් නැත. මේ ප්‍රශ්නයේදී මා දරන්නේ භික්ෂූන් වහන්සේ දේශපාලනය කළත් නොකළත් මට කමක් නැත යන අදහසය. ඒ අර්ථයෙන් මට තපෝවනයේ රතන හිමි දරණ අදහස සමග එකඟ වීමේ හැකියාවක් නැත. එහෙත් ගඤා හිමි රතන හිමිටත් ධම්මවිජය හිමිටත් එරෙහිව උන්වහන්සේලාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විනාශ කිරීමේ දුෂ්ට අදහසින් කරන අශීලාචාර හා මැර තර්ජනයට එරෙහිව හඬක් නොනගන්නේ නම් මා දරන දේශපාලන අදහසින්ද වැඩක් නැත.

අද ලෝකයේ මිනිසා අදහන සියලුම ප්‍රධාන ආගම් (බෞද්ධ , හින්දු ඉස්ලාම් කිතුනු ) බිහිවී ඇත්තේ පූර්ව නූතන යුගයේදීය. මේ හැම ආගමක් නූතන යුගය පසුකරමින් වත්මන් යුගයට එද්දී විවිධ අර්ථකථන, එකතු කිරීම් හා විකෘති කිරීම් වලට ලක්ව ඇත. මේ කිසිම ආගමක් අද පවතින්නේ ඒව බිහි වූ පුර්ව නූතන අවධියේ තිබූ ආකාරයට නොවේ. දිගින් දිගටම ආගම තුළ සිදුවන මේ වෙනස් කම්වලට අදාලව සංරක්ෂණවාදීන් සහ සංස්කරණවාදීන් වශයෙන් දෙවර්ගයක් මුනගැසේ. මේ දෙවර්ගයේම ක්‍රියා සමහර විටක සමහර විටෙක සමාජ ප්‍රගමනයටත්  සමහර විටක සමාජ ව්නාශයටත් දායක වී ඇත.

බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශපාලන කළ යුතුද නැද්ද යන ප්‍රශ්නයද සංරක්ෂණවාදී හා සංස්කරණවාදී ප්‍රවේශයන්ගෙන් විමසා බැලිය හැකිය. තපෝවනයේ රතන හිමි එබඳු එක ප්‍රවේශයක් ගෙන ඇත. එහිදී උන්වහන්සේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව ග.ඤා හිමි කොපාව්ෂ්ටව රාජ්‍ය බලයද අත දරමින් කැත තර්ජනයක් කරයි.

ග.ඤා හිමියනි.! තරුණ හිමි දෙනමකට ඔබවන්සේ කරණ මේ තර්ජනය ඊට උරුම වී තිබෙන පිළිකුලෙන් යුක්තවම අපි හෙළා දකිමු.

භික්ෂූන්ටදේශපාලනය සුදුසුද යන්න ශාසනය තුළ භික්ෂූන් වහන්සේ විසින් විසදා ගත යුතු ප්‍රශ්නයකි. එය විසදා ගත නොහැකි නම් එය නොවිසඳී ඉදිරියට පවතීවි.එවැනි නොවිසඳුණු ප්‍රශ්න ඇත්තේ මෙය පමණක් නෙවේ. නමුත් තවත් කෙනෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිව කතා කිරීමට දේශපාලනය කරන භික්ෂූවක්වන ගඤා හිමිට සුදුසු කටයුත්තක් නොවේ.

කිරුලපනේ ධම්මවිජය හිමි මට පුද්ගලිකව මුන ගැසී නැතත් මා උන්වහන්සේට කැමති වන්නේ බුදු දහම පිළිබඳ විශාල දැණුමක් සහිතව තාර්කිකව සබුද්ධිකව හා නිර්භීතව  ප්‍රසන්න ගුණයෙන් යුක්තව කරුණු දැක්වීමට උන්වහන්සේ සතු හැකියාව නිසාය.

තපෝ වනයේ රතන හිමි වැඩ වසන්නේ මාගේ නිවසට කිලෝමීටර් තුනක් පමණ නුදුරින්ය. මාගේ ගමට යාබද  පතුල්පාන  ගමේය. මට උන්වහන්සේ මුන ගැසී ඇත. ධර්මධර සුපහන් ස්වාමීන්වහන්සේ නමකි. මෙවැනි කාලයක ත්‍රිපිටක ධර්මය හා පාළි සංස්කෘත භාෂා පිළිබඳ ගැඹුරු දැණුමක් සහිත මෙවන් හිමිවරුන් බිහිවීම පවා පුදුම සහගතය. ගඤා හිමි වැනි අය හරියට නම් කළ යුත්තේ මේ ස්වාමීන්වහන්සේලාට කුණුහරුප කියා බැන වැදී අතපය කඩා දමන බවට තර්ජනය කිරිම නොව උන්වහන්සේලා කරගෙන යන ශාසනික සේවයට හැකිතරම් ආශිර්වාද කිරීමය.

යට කී තරුණ හිමි වරුන් දෙනම පසුගිය කාලයේ ඉදිරියට ආ ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ පනතට පක්ෂව කතා කළහ. එහිදී අපි උන්වහන්සේලා දරණ මතයට විරුද්ධ වූයේද අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නමැති ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මය මත පිහිටාය. අද උන්වහන්සේ දෙනම වෙනුවෙන් පෙනී සිටින්නේ ද ඒ පදනම මතය.

-කරු පරණවිතාන-

Social Sharing
නවතම