ගුරු සංගම් නායකයකුට නැගෙනහිරදී තර්ජන!

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ ගේ අනුගාමිකයන් පිරිසක් විසින් දෙසැම්බර් 6 වැනි සදුදා මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් ට එරෙහිව පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් දියත් කළ බව ලංකා ගුරු සංගමය පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්  චෝදනා කරන්නේ  25 දෙනකුගෙන් පමණ සමන්විත පිල්ලෙයාන් මන්ත්‍රීවරයාගේ මැර පිරිසක් විසින් උදෑසන දරුවන් පාසලට පැමිණීමේදී ඔවුන්ට පාසලට ඇතුළුවීමට නොහැකි වන සේ පාසලේ ගේට්ටුව වසාදමා මෙම උද්ඝෝෂණය පවත්වා ඇති අතර, මේ හේතුවෙන් අද දින ශිවානන්ද විදුහලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම කඩාකප්පල් වී ඇති බවයි.

ජෝසප් ස්ටාලින් ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයාගේ  අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන්නේ මෙම සිද්ධිය හේතුවෙන් පාසලේ ගුරුවරුන් කිසිවෙක් අද දින සේවයට වාර්තා නොකළ අතර, ගුරුවරු කාන්තන්කුඩි පොලීසියට ගොස් පැමිණිලිද  කර ඇති බවයි.

පී. උදයරූබන්  ද තම ජීවිත ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් කාන්තන්කුඩි පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව එහි වැඩි දුරටත් සඳහන්ය.

“පොලීසිය බලා සිටියදී මේ ආකාරයෙන් මැර කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් පාසලේ ගේට්ටුව වසා දමා දරුවන්ට පාසලට ඇතුළුවීමට ඉඩ නොදී සිදු කරන ලද මෙම බලහත්කාර හා කලහකාරී ක්‍රියාව සම්බන්ධයෙන් ශිවානන්ද විදුහලේ විදුල්පතිවරයා මෙන්ම මඩකලපුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ද මුනිවත රැකීම බරපතල කනනාගටුදායක තත්වයකි.”

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කර ඇත.

එසේම මෙම අවස්ථාවේදී පොලීසිය ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවීම හා මෙම මැර කණ්ඩායම විසින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සංගමය පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර ඇති බව ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා අවධාරණය කරයි.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පාසල් වසා තිබීම තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස කඩාවැටී ඇති තත්වය තුළ යළි පාසල් ආරම්භ වූ පසු ද මේ ආකාරයෙන් මැර කණ්ඩායම් විසින් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති සීමිත කාලය ද අහිමි කිරීම බරපතල ගැටලුවක් බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

ලංකා ගුරු සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් පී. උදයරූබන් ට දිගින් දිගටම මේ ආකාරයෙන් විවිධ තර්ජන හා බලපෑම් එල්ල වූ අතර, මෙම සිද්ධිය ද එම තර්ජනයන්හි දිගුවක් බව පෙන්වා දෙන  ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ පී. උදයරූබන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මේ ආකාරයෙන් බලපෑම් කිරීම  දැඩි ලෙස හෙළා දකීන බවයි.

Social Sharing
නවතම