යාපනයේ වෙරළට මළ සිරුරු ගොඩගසයි සංක්‍රමණිකයන්ගේ දැයි සැකයක්..!

දින කිහිපයක් තුළ යාපනයේ මුහුදු වෙරළ ප්‍රදේශ කිහිපයකින් මළ සිරුරු ගොඩගැසීම එම ප්‍රදේශවල ධීවරයින් බියට පත්කර ඇත.

පසුගිය 02 දා සවස වෙනවිට යාපනය මරදන්කේනි පොලිස් වසමට අයත් වඩමාරච්චි මුහුදු වෙරළේ ස්ථාන දෙකකට මළ සිරුරු දෙකක් ගොඩගසා ඇත.  ඒ යාපනය වඩමාරච්චි සක්කෝට්ටෙයි වෙරළට සහ වඩමාරච්චි නැගෙනහිර චුණ්ඩිකුලම් මුහුදු වෙරළට ය. මෙම මළ සිරුරු ගැන එම ප්‍රදේශවල ධීවරයෝ මරඳන්කේනි පොලීසිය දැනුවත් කර ඇත.

පසුගිය නොවැම්බර් 30 දා වඩමාරච්චි මරඳන්කේනි මුහුදු වෙරළට එක් මළ සිරුරක් ද, 28 දා ඩෙල්ෆ් මුහුදු වෙරළට එක් මළසිරුරක් ද  27 දා වැල්වැටිතුරෙයි මනල්කාඩු මුහුදු තීරයට තවත් මළ සිරුරු දෙකක් ද වශයෙන් දින කිහිපයක් තුළ මළසිරුරු ගොඩගසා තිබී ඇත.

මෙම මළ සිරුරු සියල්ල හඳුනා ගැනීමට නොහැකි අයුරින් නරකව තිබී ඇති අතර එම සිරුරු සියල්ල පශ්චාත් මරණ පරික්ෂණයන සඳහා යොමුකොට ඇත.

මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් කර අදාළ තොරතුරු හෙළිකරන්න යැයි යාපනයේ ධීවර නායකයින් පොලීසියෙන් ඉල්ලා ඇත.

උතුරු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් නොමැති නිසා මෙම මළ සිරුරු නිතීවිරෝධී සංක්‍රමණිකයන්ගේ දැයි සැක බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම මුහුදු සීමාවේ ඉන්දියානුවන් විශාල වශයෙන් නීති විරෝධීව මසුන් මැරීමට පැමිණෙන බවද ඔවුන් පැමිණි බෝට්ටුවක් දියේ ගිලී ඇතැයි ද සැක බව පොලිස් ආරංචි ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම