හැබෑ විනාසෙ සිද්ධ වෙන්නෙ ඔයාගෙ කටින් එළියට එන දේවලින් – අයි වෙයි වෙයි

අයි වෙයි වෙයි යනු ලොව පුරා ජනප්‍රසාදයට පත්  නිර්මාණශීලී කලාකරුවෙකි. ජගත් අයිකනයකි, එසේම මානව හිමිකම් වෙනුවෙන් චීන රජයට එරෙහිව නොබියව හඬ නඟන්නෙකි. ලොව මවිතයට පත් කළ, ඔහුගේ සුප්‍රකට ‍කලා නිර්මාණ රැසක් පසෙක තිබියදී, පසුගිය නොවැම්බර් මස දෙවැනිදා ඔහු 1000 years of Joys and sorrows නම් චරිතාපදාන කෘතියක් ප්‍රකාශයට පත් ක‍ළේය. එය වසර සියයක් පුරා දිවෙන ඔහුගේ සහ ඔහුගේ පියාගේ ජිවන කතාන්දරය කියා පාන වීර කාව්‍යයකි. ඔහු කුඩා දරුවෙකුව සිටියදී තම පියා සමඟ ගත කළ පිටුවහලේ ජිවිතය, තම සිහින ලුහු බඳිමින් ඇමරිකාවට යාම, නැවත චීනයට පැමිණීම සහ අප්‍රකට පුද්ගලයෙකුව සිට කලා ලෝකයේ සුපිරි තරුවක් බවට පත් වීමේ අසිරිමත් කතාන්දරය මෙන්ම, චීනයේ ඒකාධිපති පාලනයක් යටතේ ජීවත් වීම තුළ, ඔහුගේ කලා නිර්මාණවල ස්වභාවය වෙනස් වූයේ සහ ඔහු ජ්‍යාතන්තර මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාධරයෙකු වූයේ කෙසේද යන්නත් එම කෘතියෙන් කියා පායි.

ai weiwei political art

සැබවින්ම 1000 Years of Joys and Sorrows යනු අසාමන්‍ය නිර්මාණශීලීත්ව‍යේත්, ප්‍රබල දේශපාලන විශ්වාසයන්ගේත් කතාවකි, එසේම එය මිනිසාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකිම පිළිබඳව, අප වෙත පැවරී ඇති කඩිනම් සහ කාලීන වගකිම අපට මතක් කොට දෙන්නකි.

විචාරකයින්ට අනුව මේ මොහොතේ මිහිමත සිටින වඩාත් වැදගත් කලාකරුවා අයි වෙයි වෙයි ය. එසේම මානව නිදහස වෙනුවෙන් හඬ නඟන, කිසි දින නිහඬ කල නොහැකි කලාකරුවාද ඔහුය.  ඔහු ජනතාවාදී කලාකරුවෙකි, ඔහුගේ බොහෝමයක් නිර්මාණයන් තුළින් සමාජයේ ‘අනෙකාගේ’ දුක වේදනාව දෙස එබී බැලීමට සහෘදයාට ආරාධනා කෙරෙයි. ඔහුගේ කලා නිර්මාණ වපසරිය වාර්තා චිත්‍රපට, ගෘහ නිර්මාණ ශිල්පය, ඡායාරූපකරණය, සංගීතය හා දෘශ්‍ය කලා නිර්මාණ වැනි පුළුල් පරාසයක විහිදී පැතිරී පවතියි. ඔහු ඒ සෑම නිර්මාණයකින්ම මානව නිදහස පිළිබඳ කුමක් හෝ පණිවිඩයක් ලබා දෙයි.

වර්තමානයේ ඔහු ජර්මනිය, එංගලන්තය සහ පෘතුගාලය යන රටවල දේශපාලන සරණාගතයකු ලෙස දිවි ගෙවයි. පහතින් දැක්වෙන්නේ www.penguin.co.uk වෙබ් අඩවියේ,  ක්‍රිස් හාවි නම් ජනමාධ්‍යවේදියා විසින්, 1000 Years of Joys and Sorrows කෘතිය සම්බන්ධව අයි වෙයි වෙයි හා කළ සංවාදයක් ඇසුරින් පළ කළ ලිපියේ සම්පූර්ණ පරිවර්තනයකි.

…………………………………………………………………………………………………………….

“මගේ පොත චීනය තුළ කියවීමට ඉඩක් නෑ, සත්තකින්ම මගේ මිතුරන් අන්තර්ජාලය තුළ මගේ පොත ප්‍රකාශයට පත් වීම ගැන කිසියම් සටහනක් දැමීමට උත්සාහ කළත්, එය මිනිත්තු දෙක තුනකින් මකා දැමෙනවා. අනෙක් පසින් ඔවුන්ගේ සමාජ ජාලා ගිණුම එළැඹෙන සතියේ අවහිර වෙනු ඇතිය යන අනතුරු ඇඟවීමද ඔවුනට ලැබෙනවා. “චීන ජනතාව” භාෂාව සම්බන්ධයෙන් ඉතාමත් පරිස්සම්. අයි වෙයි වෙයි කියයි.

ජගත් කිර්තියට පත් කලාකරුවෙක් සහ දේශපාලන ක්‍රියාධරයෙක් වන හැට හතර වියැති  චීන ජාතික අයි වෙයි වෙයි කේම්බ්‍රිජ් හි හියොන් කලාගාරයට වී ඔහුගේ ජීවිත මතක ඇසුරින් ලියන ලද පවුලේ කතාන්දරය, එනම් 1000 Years of Joys and Sorrows නම් කෘතිය පිළිබඳ කතා කරමින් සිටියි. ලෝකයේ බලවත් රාජ්‍යයක් හා හැප්පෙන ඔහු, පුද්ගලයෙක් ලෙස  සන්සුන්ය, උණුසුම් හිතැතිය, විනීතය.

එම පොතට ඔහු නම තබා ඇත්තේ ප්‍රකට චීන කවියෙකු වු ඔහුගේ පියා, අයි චිං සේද මාවත හරහා වැටී ඇති නගරයක නටඹුන් නැරඹීමෙන් අනතුරුව ලියන ලද කවියක් ඇසුරිනි.

“වසර දහස් ගණනක් පුරා

සොම්නසේත් දොම්නසේත්

සළකුණක් නම් සොයා ගත නොහැක

ජීවත්වෙන ඔබ

හැකි පමණ හොඳම ජිවිතයක්  ගත කරන්න

මතකය මිහිමත සුරැකිව තිබීම ගැන

එතරම් විශ්වාස නොකරන්න.”

එහෙත් ඔහුගේ මතකය ඉතාමත් අගනා කර්තව්‍යයකට ‍අඟුළු හැර දැම්මේය. චීන රජය විසින්  2011 වසරේ අප්‍රියෙල් මස, අයි වෙයි වෙයි ව චෝදනාවකින් තොරව රඳවා තබා ගනු ලැබීය. ඒ ඔහු විසින් 2008 වසරේ බීජින් නුවර ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා ලොවම මවිත කරමින් “කුරුළු කැඳැල්ල’ නමින් ප්‍රකට, අති විශිෂ්ඨ සහ දැවැන්ත ක්‍රීඩා ප්‍රේක්ෂාගාරය නිර්මාණය කිරීමෙන් වසර තුනකට පසුවය.  මේ මොහොතේදීත් මහජන ප්‍රදර්ශනයට  එංගලන්තයේ ටේට් මොඩර්න් කලාගාරයේ එක් ශාලාවක බිම අතුරා ඇති, පෝසිලේන් යොදා ගනිමින් මිනිස් දෑතින් නිමවන ලද, සූරියකාන්ත ඇට ඇතිරුම බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හඳුන්වා දෙන්නේ ඉතාම උසස් කලා කෘතියක් ලෙසිනි. එහෙත් ශිෂුවාන් පළාතේ නොසැළකිල්ලෙන් ඉඳි කරන ලද ගොඩනැඟිල්ලක සිටි පාසල් දරුවන් පිරිසක්, 2008 වසරේ සිදුවුණු භූමී කම්පාවකින් මියයාම පිළිබඳව බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා චීන රජය මේ කෘත හස්ත කලාකරුවා පිළිබඳව උරණව සිටියේය.

ඔහු රඳවා තබා ගත් මාස තුන තුළ ඔහු ගෙවූ සෑම මොහොතක්ම ඔවුහු ඔහු දැඩිව පාලනය කළහ. ආරක්ෂක සෙබළු ඔහුව වැසිකිලියට කැඳවාගෙන යති, ඔහුට වැසිකිලිය වතුරින් සෝදා හැරීමට අවසර ගත යුතුය. ඔහුට උදේ ආහාර ගැනීමට ලබා දී ඇත්තේ මිනිත්තු අටක් පමණකි, සෑම උදෑසනකම සහ සවසකම ප්‍රශ්න කිරීම සිදු කෙරෙයි.  ඔහුට නිදා ගැනීම සඳහා වැතිරීමට ඉඩ ලැබෙන්නෙ රාත්‍රී 9. 45 ටය, ඔහු එම වෙලාවට යන්තමින් හෝ පෙරාතුව නිදා ගැනීමට සැරසෙන්නේ නම් නියමිත වෙලාව එළැඹෙන තුරු ඔහුට නිරුවත්ව ඇඳ අසල සිටගෙන සිටීමට සිදුවෙයි.

මේ සියල්ල 1000 Years of Joys and Sorrows කෘතියේ සටහන්ව ඇත. එම කෘතිය ලිවිය යුතු යැයි යන අදහස ඔහු තුළ පැළපැදියම් වන්නේ ද ඔය කියන වකවානුවේය. ඒ කාල වකවානුවේ ඔහුට ඇති එකම අවකාශය ඔහුගේ මනස පමණකැයි  ඔහු තේරුම්ගෙන තිබුණි.  මුළු දවසම රැකවලුන් මුර කරද්දී, ලොව හා ඇති සියළු සන්නිවේදන සබඳතා කපා දමා තිබියදී “ ඔබ සිතන්නට පටන් ගනියි,  ඔබට අයිති එකම දේ ඔබ‍ගේ මතකයයි, මතකයන් බොහෝ කල් පවතිනවා, මොකද අලුත් තොරතුරු කිසිවක් තව දුරටත් ඔබට නොලැබෙන නිසා.”

ඒ මතකයන් තුළ, ඔහුගේ තරුණ වියේ, 1980 ගණන්වල  නිව්යෝර්ක් නගරයේ කලාකරුවෙකු ලෙස ස්ථාපිත වීමට ඔහු දැරූ පරිශ්‍රමයන් ඇතුළත්ය,  ඔහුට වයස අවුරුදු දහය පහ‍ළොව කාලයේදී  වයඹ දිග චීනයේ කාන්තාර පෙදෙසක තම පියා සමඟ ශ්‍රම කඳවුරක ගත කළ කාලය එයට ඇතුළත්ය. අයි චිං කවියාගේ(අයි වෙයි වෙයිගේ පියා) දක්ෂිණංශික අදහස් ‘නිවැරදි’ කිරීමට සංස්කෘතික විප්ලවය කාලයේදී ඔහුව ‘පුංචි සයිබීරියාවට’ පිටුවහල් කරන ලදි. අයි චිං සැබවින්ම  වාමංශික බුද්ධිමතෙක් වූයේය,  එහෙත්  ඔහු විශ්වාස කලේ කවියන් සිටින්නේ  පක්ෂයකට සේවය කිරීම සඳහා ලිවීමට නොව, සැබවින්ම ඔවුනට නිර්මාණ කිරීමේ නිදහසක් තිබිය යුතු බවය.  කුඩා සයිබීරියාවේදි අයි චිං ට වැසිකිලි පිරිසිදු කිරීමට සිදු වූ අතර,  සීත කාලයෙදි ඝන වූ මළ ද්‍රව්‍ය ඉවත් කිරීමට සිදු වූයේ ඒවා  කැබලි කිරීමෙන් අනතුරුවය.

වයසට යමින් සිටි කවියාට සහ ඔහුගේ පුතුන් දෙදෙනාටත් ගස්වල අතුවලින් හෙවිල්ලන ලද “පොළොවේ හාරන ලද හතරැස් භූමියක” ජිවත්වීමට බල කෙරෙන ලදි. ඔවුන්ගේ නිදි යහන වූයේ තිරිඟු ඉපල් අතුරන ලද බිම්කඩකි.

වෙයි වෙයි දින දහයක් රැකවලුන් මැද අතර ගත කිරීමෙන් පසු, ඔහුගේ මතකයේ සෑම තොරතුරක්ම පීරා බලද්දී, ඔහුට අනුව “අප එක්ව බොහෝ කාලයක් ගත කළා වුනත්, ම‍ගේ පියාත් මමත් අතර පැවතුණ සබඳතාව ටිකක් බි‍‍ඳෙන සුළු එකක්. ඇත්තටම ඔහුගේ හැඟීම් සහ  මනෝභාවයන් පිළිබඳ සෘජුව ප්‍රශ්න නොකිරීම පිළිබඳ මම දැන් පසු තැවෙනවා. මට හොඳටම සහතිකයි  ඔහු ඉතා අවංකව ඒ ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න ඉඩ තිබුණා. ඔහු එවැනි පුද්ගලයෙක්. ඉතින් මම මටම දෝෂාරෝපණය කරගත්තා.”

ඔහුගේම පුතු අයි ලාඕ ට ඒ වන විට වයස අවුරුදු දෙකකි.  වෙයි වෙයි තමන්ටම මෙසේ පොරොන්දු වූයේය. “ ඉඩක් ලැබුනොත් මම මෙතනින් එළියට එනවා” එහෙත් ඒ පිළිබඳ එතරම් විශ්වාසයක් නැත. ඔහු තම ජීවිතයේ මතකයන් අයි ලාඕ වෙනුවෙන් ලියා තැබීමට අදිටන් කරගත්තේය. “ මම දන්නවා ඔහු වැඩෙන විට මේ ලෝකය වෙනස්. ඒ නිසා ඔහුට මේ දේවල් ඒ තරම් වැදගත් නැතිවෙයි, ඒත් ඒවා ලියා තැබීම මගේ වගකීම”

කෘතියේ පළමු පිටු 150 වෙන්ව ඇත්තේ වෙයි වෙයිගේ පියාගේ කතාන්තරය කීම සඳහාය,  1910  වසරේ සිදුවන අයි චිං ගේ උපතේ සිට ආරම්භ වන එම කතාව තුළ, වෙයි වෙයි විසින්, විසිවන සියවසේ චීනය නිරූපණය කිරීමට අවස්ථාව සලසා ගනියි. ඔහුගේ පියා සමඟ පෞද්ගලික හැඳිනුකම් තිබූ, මාඕ සේතුං විසින් කුඕමින්තාං පක්ෂය බලයෙන් නෙරපා හැර, රටේ ආණ්ඩු බලය ලබා ගත් සිවිල් යුද්ධය එම කෘතියේ විස්තර වෙයි. මාඕ වාදය, සංස්කෘතික විප්ලවය සහ එහි ඵල විපාකත්  සමඟ ගෙවුණු දීර්ඝ අවුරුදු ගැන එහි කියා පායි. “ එහි ඵල විපාක අත් වින්ඳේ මමත් මගේ පියාත් පමණක් නොවෙයි,” අයි අවධාරණය කොට කියා සිටියි. “නමුත් මුළු මහත් චීන ජනතාවම, දුප්පත් පොහොසත් උගත් නූගත් හැම කෙනාම ඒ බයංකාර ‍ඓතිහාසික මොහොත හරහා ගමන් කළා.”

කෘතියේ දෙවැනි භාගයෙන් විස්තර වන්නේ අයි වෙයි වෙයිගේ ජීවන චාරිකාවය. ඔහුගේ පියා නිදහස් වීමෙන් අනතුරුව “ කිසිවෙකුගේ අණසක යටතට නැවතත් පත්විමේ” තත්ත්වය වෙයි වෙයි විසින්  පිළිකුල් කළේය. ඔහු කිසිවෙකුත් යටතේ රැකියාවක් නොසොයා, කලා නියෝජිතහලක් සොයා ගැනීමට වෙහෙසුනේ ඔහුගේ කලා නිර්මාණ  චීනයේ දෘශ්‍ය කලා මධ්‍යම ඇකැඩමිය විසින් “ කිසිදු කලා සම්ප්‍රදායකට අයත් නොවන විකාර නිර්මාණ”  ලෙස හඳුන්වන තත්ත්වයක් යටතේය. අනතුරුව ඔහු ඇමරිකාව බලා පිටත් වූයේ වැඩි දුරටත් දෘශ්‍ය කලාව පිළිබඳ අධ්‍යනය කිරීම සඳහාය. ඔහු නිව්යෝර්ක් නුවර දී බටහිර සංකල්පිත කලාව පිළිබඳ වැඩිමනත් දේ උකහා ගත්තත්, 1993 වසරේ ඔහු නැවතත් චීනයට පැමිණි විට, ඔහුට අනුව “ මට මගේ ජීවිතය අලුතින්ම පටන් ගන්න සිදුවුනා. ඊට මට වසර ගණනාවක් ගත වුණා. කිසිදු වැදගැම්මට ඇති දෙයක් නොකර සහෝදරයා එක්ක නිතරම කාඩ් සෙල්ලම් කරන,  නොනවත්වා පෞරාණික භාණ්ඩ මිලදී ගන්නා කොළුවා දෙස බලන් ඉන්න එක අම්මට එපා වෙලා තිබුනෙ. ඒත් ඒ සැහැල්ලුවෙන් ගෙවී ගිය කාලය මම  වින්දනය කළා.” සැබවින්ම ඔහුට යමක් කළ හැකි යැයි ඔහුට  දැනෙන්ට පටන් ගත්තේ 1996 වසරේ ඔහුගේ පියා මියයාමෙන් ද අනතුරුවය.

කෘතියේ පළමු දළ පිටපත ඔහු 2015 වසරේ අවසාන කලේය. වචන 800, 000 පමණ වන දැවැන්ත පිටපත සංස්කාරකවරුන් විසින් අවසානයේ පිටු 400ක සාහිත්‍ය කෘතියක් බවට පත් කොට තිබුණි. එම කෘතියේ සමහර තැන් මුළුමනින්ම කාව්‍යාත්මකය.

“මම කවියෙකුගෙ පුතෙක්” ඔහු කියයි, ඔහු ළමා වියේදී බොහෝ සෙයින් කවි ඇසුරු කොට ඇත. “ මම තවමත් මිනිස් බුද්ධියේ උස්සතම ප්‍රකාශන මාධ්‍යය ලෙස කවිය අගය කොට සලකනවා. කාව්‍යය ශාස්ත්‍රය සම්බන්ධයෙන් චීනයේ ඉතාමත් සරුවට මුල් ඇද ගත් සංස්කෘතියක් පවතිනවා. කවි කලාව තුළ පුද්ගලික සංවේදනා වගේම මුළු විශ්වයම හා සැබැඳුනු පුළුල් දේ පිළිබඳ කතා කළ හැකියි. එම තත්ත්වය චීනයට සුවිශේෂී සංස්කෘතියක්, මොකද ඔවුනට ආගමක් නොමැති නිසා.”

බ්‍රිතාන්‍ය – ඉන්දියානු ලේඛක අනීෂ් කපූර් කලාව සමඟ දේශපාලනය මුහු වීම නිසා “අඩු කලාත්මක නිර්මාණ” බිහිවෙනවා යැයි විශ්වාස කරයි. මම ඒ පිළිබඳ ඔහුගෙන් විමසා සිටියෙමි. එකවරම ඔහුගේ දෑසේ දැඩි බැල්මක් මතු වූයේ ඔහු ලෝකයේ බොහෝ රාජ්‍යයන් පවා බිය වන ආණ්ඩුවකට විරුද්ධව නැඟී සිටියෙකු යැයි මට සිහිපත් කරන්නට මෙනි. “ඔබ ඒ අදහසට ක‍ොහෙත්ම එකඟ නැතිව ඇති?” මම විමසීමි. “ මම හොඳටම එකඟයි.. මම ‘අඩු කලාත්මක’ නිර්මාණ තමයි බිහි කරන්නෙ කියන  කාරණයත් එක්ක. එයාට හොඳම කලාත්මක නිර්මාණ කරගන්න ඉඩ දෙන්න මොකද ඔය කියන ඊනියා මහා කලා නිර්මාණ ඇත්තටම ප්‍රශ්නකාරියි. මොකද ඔයා දන්නවා, කාටහරි ඕනැ බලු පැටියෙක් වෙන්න නම්, ඉතින් ඒක හොඳ කලා නිර්මාණයක් කියලා කාට හරි අගයන්න පුළුවනිද? අපි කතාවට කියන්නෙ බල්ලෝ ආදරේ බල්ලන්ට, ඌරෝ ආදරේ ඌරන්ට, ඉතින් ඌරෝ කවදාවත් බල්ලන්ට ආදරේ නෑ, බල්ලෝ කවදාවත් ඌරන්ට ආදරේ කරන්නෙ නෑ. ඉතින් හොඳ කලාව නරක කලාව ගැන වෙනස් පරාමිතීන් එක්ක අපි අයත් වෙන්නෙ වෙනස් පංති දෙකකට.”

“මාඕ සේතුං  බොහොම සිත් ගන්නා සුළු කතාවක් කියලා තියෙනවා.” ඔහු වැඩි දුරටත් කියයි. “ පංති සහිත සමාජයක සෑම පුද්ගලයෙකුගේම විනිශ්චය ඔහුගේ පන්ති මට්ටම පරාවර්තනය කරයි. කිසිවෙකුට ඉන් මිදිය නොහැකිය, මන්ද  අපගේ විනිශ්චය අප අයත්වන්නේ කුමන ආස්ථානයට ද යන්න සැබවින්ම කියා පාන නිසාය”.

වසර ගණනාවක් මතවාදරෝපණය කරන කඳවුරක දුක් විඳි ඔහු, මාඕ සේතුංගේ වැකියක් උපුටා දැක්වනු ඇසීම අසිරිමත් අත්දැකීමකි. එහෙත්  ‍කරදර ඇවිස්සීමට ඇති ඔහුගේ  හැකියාවේ වපසරිය ඔහු හොඳින් දනියි. “ තාත්තා මට කියන්න පුරුදු වෙලා උන්නා, “ ලෙඩ ඇතිවෙන්නෙ ඔයා කන දේවලින්, ඒත් හැබෑ විනාසෙ සිද්ධ වෙන්නෙ ඔයාගෙ කටින් එළියට එන දේවලින්” ඔහු සිනාසෙයි. “හැම චීනාම දන්නවා මේ සම්භාව්‍ය වැකිය. ‘ඔබ අනවශ්‍ය පමණට කතා කළ විට  ඔබට අපමණ කරදර ඇති වනු ඇත.’ ” ඉතින් මේ මං කියලා කියන්නෙ කලා ලෝකේ වැඩියෙන්ම කතා කරන කෙනා.”

ai weiwei political art

ai weiwei political art

ai weiwei political art

ai weiwei political art

සුභාෂිණී චතුරිකා

Social Sharing
නවතම විශේෂාංග