සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතිමෙන් අපිට භූමිතෙල් නැති වෙයිද?

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන මෙරට ඉතිහාසයේ  පළමු අවස්ථාව මෙය වේ.

පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියා ඇත.

“ඉතිහාසයේ පළවෙනි වරට පිරිපහදුව නවත්වනවා හෙට. බොරතෙල් ලෝකයේ නැති හින්දා නෙමෙයි පිරිපහදුව හෙට වහන්නේ. ඇති වෙනකම් බොරතෙල් තියෙනවා. ඩීසල් සහ පෙට්‍රල් විතරයි නිත්‍ය ඇනවුම් තියෙන්නේ. පෙට්‍රල් ජනවාරි වෙනකම් තියෙනවා. ඇමති කියන පරිදි මේ මාසයෙන් පස්සේ ඩීසල් එනවද කියන එක ඇමති කියන්න ඕනේ. ඔක්තේම්බර් 5 වනදා පස්සේ නැවක් තාම නැහැ. ඒක හින්දා මාස තුනක් පිරිපහදුව දිව්වේ දිනකට මෙට්‍රික්ටොන් 3,500ක 50%ක අඩුවෙන්. ඕනනම් ආපසු මාව CID දායි. හැබැයි කිව්වේ ඇත්ත. භූමිතෙල් නිෂ්පාදනය නවතිනවා. තමා කිසිම ඇනවුමක් නැහැ. හදිසි මිලදී ගැනීම්වලට යන්න වෙන්නේ. ඒ ගත්තත් මාස දෙකක් තුළ ඉන්ධන මිල සූත්‍රය ඇවිල්ලා ජනතාව නොමාර මරණ එක මරණවා. ඉන්ධන ඉදිරියේදී සලක සහ පෝලින් ක්‍රමයට තමයි දෙන්න වෙන්නේ යැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියි.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්රුන් ඊයේ පස්වරුවේ පවසා ඇත්තේ විශේෂ මාධ්‍ය හමුවක් අද  පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවය.

මේ සම්බන්ධයෙන්  ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසා සිටින්නේ මෙවැන්නකි.

“සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට ඉදලා වහනවා කියන කථාබහ එළියට ඇවිල්ලා තියෙනවා. මේකට හේතුව වන්නේ ඇනවුම් කරපු බොරතෙල් එහෙමත් නැත්නම් අපේ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් සහභාගී නොවීම. අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන් බොරතෙල් පිරිපහදුව වෙනුවට පිරිපහදු කළ තෙල් ලංකාවට ගෙනල්ල ඒ කිසිම අඩුවකින් තොරව බෙදන්න වග බලාගන්නවා.”

දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙට්‍රික්ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.

 

 

Social Sharing
නවතම