විශ්‍රාමිකයින්ගේ මුදල් කැපීමේ චක්‍රලේඛයත් ආණ්ඩුව රිවස් කර ගනියි.

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද තවත් චක්‍රලේඛයක් හකුලා ගෙන ඇත. ඒ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය 29 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වන ජේ.ජේ .රත්නසිරි මහතා විසින් ඉකුත් 29 දා නිකුත් කළ චක්‍රලේඛය අනුව වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රු.600ක මුදලකුත්, වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රුපියල් 400ක මුදලකුත් මෙම රක්ෂණාවරණය සඳහා අය කර ගැනේ.

එසේම රක්ෂණ යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකරගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයන් මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට සති දෙකක් ඇතුළත තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැන්විය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් විය.

රජයේ මෙම තීරණයට රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගම් රැසක් විරෝධය පළ කර සිටියේ ඔවුන්ද මෙම තීරණයට එරෙහිව පාරට බසින බවට අනතුරු අඟවමිනි. ඔවුන් කියා තිබුණේ එලෙස හිතුවක්කාරී ලෙස විශ්‍රාමිකයින්ගෙන් මුදල් අයකර ගැනීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බවය.

මේ විරෝධතා පැමිණිමත් සමඟ ඊයේ (09) දින රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නැවත වතාවක් චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටින්නේ විශ්‍රාමික රාජ්‍ය නිලධරයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තවදුරටත් පුලුල් කිරිම සඳහා පෙර නිකුත් කරන ලද චක්‍රලේඛය තාවකාලිකව අත්හිටවු බවය.

 

 

Social Sharing
නවතම