මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයද හකුලා ගනිමින් එය සංශෝධනය කර නැවත ගැසට් කිරිමට රජයේ අවධානය යොමුව ඇත.
මුතුරාජවෙල තෙත්බිම් භූමිය පිලිබඳ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හා එහි භූමිය ගොඩකිරීම් සම්බන්ධයෙන් දේශපාලන මෙන්ම සිවිල් සමාජය අතර දැඩි ලෙස කථාබහක් මතු විය. විශේෂයෙන්ම මෙම පවරා ගැනිමේදි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ඉඩම් කිහිපයක්ද අහිමිව යාම ගැන ඔහු පෙරේදා (08) පාර්ලිමේන්තුවේදි දැඩි ලෙස කථා කර සිටියේය.
අමාත්‍යවරයා එහිදි කියා සිටියේ මේ ගැසට්ටුව වහා අවලංගු කළ යුතු බවය. නිමල් ලාන්සා යනු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒම සඳහා දැඩි ලෙස මුල් වී ක්‍රියා කළ අයෙකි. වරක් මීගමුවේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ නිවසක් වැටලු අවස්ථාවේ එකල රාජපක්ෂවරු හැසිරුණු ආකාරයද අපට අමතක නැත.
ඒ නිසාදෝ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් යළිත් වරක් ආණ්ඩුවේ හදවත තෙත් වී ඇත. ඒ නිසා මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි පැවසේ.
එම ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රදානත්වයෙන් අද (10) සාකච්ඡාවක්ද පවත්වා ඇත. ඒ සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුලු පිරිසක් එම සාකච්ඡාවට එක්ව ඇත.