විශ්‍රාමිකයින්ගෙනුත් ආණ්ඩුව ගාණ කැපීමට එරෙහිව විශ්‍රාමික සංගම් විරෝධය

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය 29 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළේය.

2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මෙම මුදල අයකරගැනීමට යෝජනා කර තිබූ අතර එහි දැක්වුණේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රු.600ක මුදලකුත්, වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රුපියල් 400ක මුදලකුත් මෙම රක්ෂණාවරණය සඳහා අයකරගන්නා බවය.

එසේම රක්ෂණ යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකරගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයන් මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට සති දෙකක් ඇතුළත තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දැන්විය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් විය.

රජයේ මෙම තීරණයට රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ සංගම් මේ වන විට විරෝධය පළ කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ එලෙස හිතුවක්කාරී ලෙස විශ්‍රාමිකයින්ගෙන් මුදල් අයකර ගැනීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නොමැති බවය.

සමස්ත ලංකා රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ විධායක සභික එස්.එන්.බී.කේ. කරුණාරත්න මහතා පවසන්නේ සාමාන්‍යයෙන් අය වෙන්නේ රුපියල් 200ක් බවත්  ඒ යටතේ අග්‍රහාර හිමිකම පමණක් ඉල්ලා සිටි බවය.

අලුත් චක්‍රලේඛයෙන් එය  වෙනස් කර හිතුවක්කාරීව මුදල් අයකිරීමට සුදානම් වන බවත් කොට්ඨාස සංගම් හැටියට දැනටම රු.100ක් අයකරන බවත් පෙන්වා දෙන ඔහු පවසන්නේ  සාමාන්‍ය ලෙස ආණ්ඩුව ගෙවීම් කළ යුතු බවය.

මෙහි අයුතුම යෝජනාව වන්නේ  සතිදෙකක් ඇතුළත දැන්වූයේ නැතිනම් කැමැත්ත ලබාදුන් සේ සලකා වැටුපෙන් මුදල් කපා ගැනීමට කටයුතු කිරිම බවත් මෙය විශ්‍රාමිකයාට කරන අසාධාරණයක් හෙයින් විශ්‍රාමිකයිනුත් පාරට බස්සා කොවිඩ් බෝ කළා යැයි කියනු එපා යැයි ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියි.

 

Social Sharing
නවතම