මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා

මුතුරාජවෙල තෙත්බිම් භූමිය පිලිබඳ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හා එහි භූමිය ගොඩකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් දේශපාලන මෙන්ම සිවිල් සමාජය අතර දැඩි ලෙස කථාබහක් මතුව ඇත.

මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සම්බන්ධ ගැසට් නිවේදනය නිසා මේ වන විට අවට වැසියන් සිටින්නේ දැඩි පීඩනයකට ලක්වය. ඒ ඔවුන්ගේ ඉඩම්ද එවිට අහිමිව යන බැවිනි.

මේ අතර අනාවරණය වූයේ මේ භූමිය ගොඩකර හෙලිකොප්ටර් අංගනයක් සෑදීමේ සැලසුමක් ඇති බවය. මේ පිලිබඳ වහාම සොයා බලා  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල් චන්දන සුරියබණ්ඩාර මහතාට දැනුම් දී ඇති බව අප ඊයේ (07) හෙළිකර සිටියෙමු.

මේ සම්බන්ධව අද (08) දින පාර්ලිමේන්තුවේද කථාබහට ලක් විය. ඊට ප්‍රධාන හේතුව වුයේ මේ නිසා  රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ඉඩම් අහිමිව යාමක් නිසාය.

මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නිසා තමාගේ පවුලේ සියලුම ඉඩම් වලටත් බලපෑම් ඇතිවන බව පවසමින් එකී ගැසට් නිවේදනයට අද සිය විරෝධය පල කර සිටියේය.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා වෙත ඔහු කියා සිටියේ මේ ගැසට්ටුව වහාම ඉවත් කළ යුතු බවය. ආණ්ඩුවක් ලෙස නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතිව ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත යුතු බවද මෙම ගැසට් නිවේදනය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවද දැඩි කුතුහලයට පත්ව ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා අද මේ බව පාර්ලිමේන්තුවේ කථා කළේ ඔහුගේ ඉඩම් අහිමිව යන නිසාය. නැතිනම් ඔහුද මේ ගැසට්ටුව අනුමත කර නිෂ්ශබ්දව සිටිනු ඇත.

මේ වන විට මුතුරාජවෙල පාරිසරික භූමියෙන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර් 700 ක් වැනි සුලු කොටසක් වන අතර සියලු ඉඩම් ගොඩකර ඇත. තවදුරටත් මෙම භූමිය ගොඩවුවහොත් වත්තල, ජා ඇල , මීගමුව අවට වැසියන්ට ජල ගැලීම් වලට දැඩි ලෙස මුහුණ දීමට සිදු වනු ඇත.

Social Sharing
නවතම