සිරිල් ගාමිණී පියනම අත්අඩංගුවට ගන්නවාද?, නැද්ද? නීතිපති උපදෙස් මත ඉදිරියේදී…

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සැලේ මහතා විසින් සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල මත මේ අවස්ථාවේ සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී ඇත.

ඒ නීතිපතිවරයා මාර්ගයෙනි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන්  බව, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ  පහුගියද 23 දින පැවති ජාත්‍යන්තර සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින් සිරිල් ගාමිණී පියනම විසින් ප්‍රකාශ කර තිබුනි.

එහිදී පියතුමා වැඩිදුරටත් පවසා තිබුණේ,  සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයකුවූ මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන ලද බවය.

සිරිල් ගාමිණී පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරල් සුරේෂ් සලේ සඳහන් කර ඇත්තේ, එම සියලු චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවය. සිරිල් ගාමිණි  පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් සලේ අවධාරණය කර ඇත්තේ, තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් නගා ඇති එම සියළු චෝදනා  සම්පූර්ණයෙන්ම අසත්‍ය බවය.

මෙම සියලු චෝදනාවන්ගේ  අරමුණ වන්නේ පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම ඔහුගේ කීර්තිනාමයට හානි කිරීමත්, ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද අනතුරට හෙලීමත් බවද,  තවද එබඳු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන්ට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බුද්ධි  නිලධාරීන්හටද නැවත පිලිසකර කළ නොහැකි හානියක් සිදුකරන බවද පහුගිය 25 දා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහු කියා ඇත.

මේජර් ජෙනරල් සුරේෂ් සලේ ඔහුගේ පැමිණිල්ල මගින් නැවත නැවතත් අවධාරණය කර සිටින්නේ, තමා කිසිදු තත්ත්වයක් යටතේ කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම්වූහෝ ආකාරයක සන්නිවේදනයක් සිදු කර නොමැති බවය.  ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ, මෙම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටය.

මේ සම්බන්ධව ඉකුත්  (27)  දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ අංක එක ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් වෙත  පහුගිය 28 දින  පැමිණිනෙන ලෙස දැනුම් දීම සිදු කර තිබුණි.

මේ අතර තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු පදවි පාස්කු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පහුගිය  (02)  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළේය.

පොලිස්පතිවරයා – නීතිපතිවරයා – අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ඇතුලු 07 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම්කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණුකර තිබුණි.

ඒ අනුව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා ප්‍රතිඥාවක් ලබා දෙමින් ස දන්වා සිටියේ මේ අවස්ථාවේ සිරිල් ගාමිණී පියනම අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැති බවය.

විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

මෙහිදී සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, දැනුම් දෙන සුදුසු වෙලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවය.

ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසය.

සිරිල් ගාමිණී පියනමට සහාය දක්වා අද (08) දින ශ්‍රේෂ්ඨාධිකරණය අවට පියතුමන්ලා රැසක් මෙන්ම සිවිල් සංවිධාන රැසක සාමාජිකයින් රැසක් වැසි තත්ත්වයද නොසලකා රැස්ව සිටිනු දක්නට ලැබුණි.

Social Sharing
නවතම