හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය, විදේශසේවා කාර්යාංශය ආදි ආයතන අසල මේ දිනවල ඇත්තේ දැඩි පෝලිම්ය.

80-90 දශකයේ නම් බොහෝ පිරිසක් විදෙස්ගත වුයේ මැදපෙරදිග රටවල රැකියාවන්ටය. යුරෝපා රටකට ගියේ අධ්‍යාපනය ලැබීමට සිටි අයෙකුය. නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇත. බොහෝ දෙනෙකු දැන් රැකියා සඳහා යාමට උත්සහ දරන්නේ යුරෝපා රටවල රැකියාවන්ටය.  ඒ මේ වන විට යුරෝපා රටවලද රැකියා තිබීම නිසාය.

ලංකාවේ බොහෝ දෙනාගේ මතය වන්නේ මැදපෙරදිග රැකියා වලට යන පුද්ගලයින් විවිධ හිරිහැරයන්ට, වදහිංසාවන්ට ලක්වීමේ ඉඩකඩ වැඩි බවය. ඒ අරාබි රටවල් බැවිනි. ශරිරයට ඇණ ගසා මෙරටට කාන්තාවන් එවීම, විවිධ වදහිංසාවන්ට ලක් කර ආබාධිත තත්ත්වයන්ට පත් කර ලංකාවට එවීම ආදි හේතූන් වාර්තා වීම මතය.

නමුත් යුරෝපිය රටවල මෙම ත්ත්වය අවම බව බොහෝ දෙනාගේ මතය වේ. ඒ නිසා යුරෝපා රටවලට යාමට වැඩි කැමැත්තක් දක්වයි.

මේ නිසා විදේශ රැකියා ඒජන්සි රැසක්ද බිහි වී ඇත. විදේශ රැකියා ඒජන්සි අතර ප්‍රසිද්ධම නගරය වන්නේ කොළඹට පසු කුරුණෑගලය.

දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායල් රැකියා ඒජන්සි රැසක් මේ වන විට බිහිව ඇත. නමුත් මේ සියලු රැකියා ඒජන්සි හරහා විදෙස්ගත ශ්‍රමිකයින්ට නිසි රැකියාවක්, නිසි වැටුපක්, නිසි රැකවරණයක් ලැබෙනවාද යන්න විමසා බැලිය යුතුව ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටින්නේ මේ වන විට දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායල් රැකියා ලබාදෙන බව පවසා මුදල් ගසාකෑමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවය.

අදාළ රටවල්වල රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයාදෙන බව පවසා, වංචනික පිරිසක් විසින් එලෙස  මුදල් ගසාකෑමේ ජාවාරමක් සිදුකරන බව එම කාර්යාංශය කියා ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවාගැනීම් හා පුහුණු කිරීම් කාර්යාංශය මගින් පමණක්ම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවය.

ජපානයේ රැකියා සඳහා ද දෙරට අතර ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව රාජ්‍ය බඳවාගැනීම් කාර්යංශය මගින් හා අවසරලත් බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන කිහිපයක් මගින් පමණක් සිදු කෙරෙන බව ද දැනුම් දී සිටියි.

ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් සිදු කරන බවත් මෙයට අමතරව ඊශ්‍රායල් රැකියා බඳවා ගැනීම බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කරන බවත් අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් අය කරන බව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම