කොවිඩ් එන්නත් ගැන රාජ්‍ය ඇමති චන්නගෙන් විශේෂ අනාවරණයක්!

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඇමරිකාව යුරෝපය හා උත්තර අර්ධ ගෝලය වැඩි වශයෙන් භාවිතා කළ මොඩර්නා ෆයිසර් හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් වල ක්‍රියාකාරිත්වය පිළිබදව සිදුකළ පරීක්ෂණ වලදී එහි අගය පහල වැටි ඇති බව ඇමරිකාවේ ප්‍රකට විද්‍යා සඟරාවක් වන සයන්ස් සඟරාවෙන් පෙන්වා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කළේය.

අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරය, එන්නත් කරණය හා එන්නත් තුළ පළදායිතාව හා ආරක්ෂාවන පිළිබද සුවිශේෂී පර්යේෂණයකදී (6දා) දිනය තුළ මේ බව අනාවරණය වෙලා තියනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ පලකරනා සයන්ස් කියන ලෝක ප්‍රකට විද්‍යා සඟරාවේ තමයි මේ තොරතුරු එළිකරලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් ලක්ෂ අටක් යොදාගෙන සිදුකළ පරීක්ෂණයකදී මාර්තු මස සිට සැප්තැම්බර් දක්වා මාස හයක කාලය තුළ එන්නත් ලබාගත් අයගේ ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් දත්ත අනාවරණය වෙළා තියනවා.

ඒ අනුව මොඩර්නා එන්නත මුලින්ම සියයට 89 ප්‍රතිශතයක් පෙන්නුම් කළත් එහි ක්‍රියාකාරීත්වය සියයට 58දක්වා පහළ වැටී ඇති අයුරු පරීක්ෂණයෙන් අනාවරණය වෙලා තියනවා.

ෆයිසර් එන්නතේ ක්‍රියාකාරිත්වය සියයට 87 සිට 43 දක්වා අඩුවෙලා තියනවා. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ ක්‍රියාකාරීත්වය සියයට 86 සිට 13 දක්වා පහළ බැහැලා තියනවා.

ඇමරිකාව යුරෝපය හා උතුරු අර්ධ ගෝලයේ ඉදිරි කාලය අධික ශීත සෘතුවක්. ශීත සෘතුවක් සමග ගෑස් මිලෙත් වැඩිවීමක් සිදුවෙනවා. එහිදී එන්නත් කරණයෙන් ලැබුණු ආරක්ෂාව අඩුවෙනවා කියන අවධානම නැවත ඇතිවෙලා තියනවා.

ලංකා රජයත් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරලා තියනවා. මොකද ශ්‍රී ලංකාවත් මොඩර්නා ෆයිසර් එන්නත් දෙක ලබාගෙන තිබෙනවා. නමුත් අපිට වාසනාවකට වගේ ශීත සෘතුවක ගැටළුවක් ඇතිවෙන්නේ නෑ.

නමුත් අපි නිරන්තරයෙන් අවධානයෙන් සිටිනවා ඒ සම්බන්ධයෙන්. එහිදී පර්යේෂකයන් යෝජනා කරන්නේ විකල්පය ලෙස බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම මුහුණු ආවරණ පැලදීම සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත් බව.

අපි මේ වනවිට තුන්වන මාත්‍රව වශයෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදෙනවා. ජනතාවත් ලොකු වගකීමකින් කටයුතු කරන්න ඕන. එන්නත ලබා ගත්තා කියලා මුහුණු ආවරණ නොපලදා සමාජ දුරස්ථභාවය ගැන නොහිතා කටයුතු කරන්න එපා.

එන්නත ලබා ගැනීම මෝටර් සයිකලයේ යන කොට ආරක්ෂාවට හෙල්මට් එකක් දාගන්නවා වගේ. නමුත් ඒක දැම්මා කියලා අපි හැඩල් එක අත ඇරලා යන්නේ නෑ. ඒ නිසා අපි හරිම ආරක්ෂාකාරීව කටයුතු කරන්න ඕන.

සිදුකළ පර්යේෂණ වලදී හොඳින්ම පැහැදිලි වෙලා තියනවා කොව්ඩ් 19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මිනිස් සිරුර තුලදී ගුණනයවී අනිත් අයට පැතිරීම සිදුවෙනවා කියන එක. පහුගිය අගෝස්තුවේ අපේ රටේ දිනකට 200ක් පමණ රෝගීන් මැරුණා.

රෝගීන් 6000-7000ත් අතර ප්‍රමාණයක් දිනකට හමුවුනා. ඉදිරි දෙසැම්බරය නැවත අගොස්තුවක් වෙන්න දෙන්න බෑ. ඒ නිසා වගකීමෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

-අනුරාධපුර මහේෂ් විජේසුරිය-

Social Sharing
නවතම