මහජන බැංකු සිද්ධියේ සැබෑ තත්ත්වය රටට හෙළි කරන්න – ලංකා බැංකු සේවක සංගමය

අවදානමකට ලක්ව ඇති මහජන බැංකුවේ සැබෑ තත්ත්වය පිලිබඳව රජය වහාම රටේ ජනතාව දැනුවත් කළ යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

චීනය විසින් මෙරට මහජන බැංකුව අසාදු ලේඛනගත කිරිම සම්බන්ධයෙන් මේ වන විට රටේ ජනතාව මෙන්ම මහන බැංකු සේවක සේවිකාවන්ද සිටින්නේ දැඩි ලෙස ගැටලු සහගතවය. ඒ් නිසා මේ තත්ත්වය වහාම විසඳිය යුතු බව ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

චීනයෙන් කාබනික පොහොර මිලදී ගැනීම සඳහා පොහොර සමාගමක් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම තුළ මහජන බැංකුවේ ව්‍යාපාරික පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇති අතර, දැනට නිර්මාණය වී ඇති තත්වයන් පිළිබඳව මහජනතාව නිසිපරිදි දැනුවත් කරමින් රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇති විශ්වාසය ආරක්‍ෂා කිරීම සංගමයේ වගකීමකි.

විදේශ රටවලින් පොහොර මිලදී ගැනීම් වලට අදාළව මහජන බැංකුව සම්බන්ධයෙන් පැනනැගි ඇති ගැටලූව පිළිබඳව අප සංගමය විසින් මුදල් අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුවත් කිරීමට මේ වන විටත් කටයුතු කර ඇත. චීනයෙන් කාබනික පොහොර මිලදී ගැනීම සඳහා පොහොර සමාගමක් වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම තුළ මහජන බැංකුවේ ව්‍යාපාරික පැවැත්මට තර්ජනයක් එල්ල වී ඇත. පොහොර සමාගම එම ණයවර ලිපි ගෙවීම් කිරීමට එරෙහිව වාණිජ මහාධිකරණයේහි අතුරු තහනම් නියෝග ලබාගෙන ඇති අතර ණයවර ලිපි ගෙවීම් නොකළහොත් මහජන බැංකුව චීනය තුළ අසාදුගත කරන බවට එම සමාගම් තර්ජනය කර ඇති බවට වාර්තා වී තිබූ පසුබිමක අප සංගමය විසින් අමාත්‍යවරයා වෙත ලිඛිතව මේ බව දැනුවත් කරන ලදී.එම තත්ත්වය මහජන බැංකුවේ විදේශ ගනුදෙනුවලට අහිතකර බලපෑම් ඇති කරවන්නක් බවට අප විසින් එහිදි කරුණු දක්වා ඇත.

ඒ අතර ඉන්දියාවෙන් නයිට‍්‍රජන් පොහොර ගෙන්වීම සඳහා එක්තරා පොහොර සමාගමක් ඒ වෙනුවෙන් මහජන බැංකුව සිදුකළ ගනුදෙනුවක් පිළිබඳව මාධ්‍ය වලින් කළ හෙළිදරව්ව සමග මහජන බැංකුව හා එහි සේවය කරන නිලධාරීන් කිහිපදෙනෙක්ද වෘත්තීමය වශයෙන් අවදානමකට ලක්ව ඇත. හෙළිදරව් වී ඇති කරුණු අනුව ජාතික අවශ්‍යතාවන් මත මෙම පොහොර ගෙන්වීමේ ක‍්‍රියාවලියට මුවා වී යම් දූෂණ ගනුදෙනුවක් සිදුවී ඇති බවට හැඟීයයි. එලෙස යම් දූෂණ හෝ වංචනික කටයුත්තකට මහජන බැංකුව සම්බන්ධ කිරීම තුළ එහි කීර්තිනාමයටද දැඩි බලපෑමක් ඇති වී ඇත. රටේ බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබද්දි මහජන බැංකුව ඇතුලූ රාජ්‍ය බැංකු ලාභ උපයමින් රටේ ආර්ථික සංවර්ධනයට දායක වී ඇත. මෙම බැංකු ගොඩනැගී ඇත්තේ රටේ පොදු මහජනතාවගේ ඉතුරුම් තුළිනි. එබැවින්, මෙම වටිනා ජාතික සම්පත රැුක ගනිමින් ඒවායේ ව්‍යාපාරික පැවැත්ම සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක් බව මෙහිදි අප විසින් අවධාරණය කර සිටිමු. මෙවන් ගැටලූ සහගත හා දූෂිත ගනුදෙනු වලට එම බැංකු සම්බන්ධ කරගනිමින් ඒවා අවදානමකට ලක්කිරීම කණගාටුදායක තත්ත්වයක් වන අතර ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන් ඒවාට සම්බන්ධ වී තිබේ නම් එය වඩාත් බරපතල තත්වයක් බව අපගේ මතයයි.

මෙම ගනුදෙනුවල සත්‍යතාවයන් හෙලිදරව් කරමින් මහජන බැංකුව සම්බන්ධයෙන් රටේ මහජනතාව අතර නිර්මාණය වී තිබෙන ගැටලූවලට නිසි පැහැදිලි කිරීම් ලබාදීම විෂය භාර අමාත්‍යවරයාගේ වගකීමක් බව එතුමා වෙත යවන ලද ලිපියේ අප විසින් සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති තත්වයන් පිළිබඳව මහජනතාව නිසිපරිදි දැනුවත් කරමින් රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇති විශ්වාසය ආරක්‍ෂා කිරීම සංගමයේ වගකීමක් ලෙසද අපි සළකමු. (නිමාව)

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (30) මහනුවරදි ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධ ඔහුව කිසිවෙකු දැනුවත් කර නොමැති බවය.

Social Sharing
නවතම