මුලතිව් වෛද්‍ය හිඟය ගැන GMOA අනතුරු අඟවයි!

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ පවතින  දැඩි වෛද්‍ය හිඟයට සති දෙකක කාලයක් තුළ විසදුමක් ලබා දීමට බලධාරීන් ක්‍රියා නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීය සංගමය අනතුරු අඟවා තිබේ.

මුලතිව් රෝහල, දිස්ත්‍රික් මහ රෝහලක් වුවද එම  දිස්ත්‍රික්කයේ රෝගී ප්‍රතිකාර ලබා‌ දීම සඳහා මේ වන විට එහි සේවයේ යෙදී සිටිනුයේ වැඩබලන විශේෂඥ වෛද්‍යවරු 7 දෙනෙක්  සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 42 ක්  පමණක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

එම  සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇත්තේ එම රෝහලේ සේවාව සඳහා කිසිදු ශල්‍ය වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වී ඇති බවයි.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු   වැඩි දුරටත් පවසන්නේ මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛාවේ නිලධාරීන් සහ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඔක්තෝබර් 21 වැනි බ්‍රහස්පතින්දා  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සමඟ එම රෝහලේ උද්ගතව ඇති දැඩි වෛද්‍ය හිඟය පිළිබද විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බවයි.

එහිදී එළඹී තීරණය පිළිබදව ඔහු සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ.

“ඉදිරි සති දෙකක කාලය ඇතුලත මේ ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් පියවර නොගතහොත් මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ශාඛා සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කළ අතර ඒ සඳහා විධායක සභාවේ අනුමැතිය අද දින ලබා දෙන ලදී.”

Social Sharing
නවතම