පිටින් ගෙන ජනතාව පදිංචි කිරීමට මඩකලපුවේ විරෝධතා!

ආණ්ඩුව පිට පළාත් වලින් ගෙන්වු සිංහල ජනතාව මඩකලපුව ප්‍රදේශයේ පදිංචි කිරීමේ උත්සාහයක් පවතින බවට චෝදනා කරමින් දෙමළ ජාතික සංධානයේ ප්‍රාදේශීය නායකත්වය යටතේ එක්වූ දෙමළ හා මුස්ලිම් ජනතාව විරෝධතාවයක් දියත් කර තිබේ.

මඩකලපුවේ, වාකරේ කාරමුනෙයි ප්‍රදේශයේදී ඔක්තෝබර් 21 වැනි බ්‍රහස්පතින්දා විරෝධතාවය දියත් වී තිබේ.

ඔවුන් පවසන පරිදි වැලිඔය, අම්පාර ආදී ප්‍රදේශවල දැනට ජීවත් වන සිංහල පවුල් 200 ක පමණ පිරිසක් එදින  මඩකලපුවේ, වාකරේ කාරමුනෙයි ගම්මානයට පැමිණ ඇත්තේ 1982 වසරේ එම ගම්මානයේ තමන් ජීවත් වූ බව කියන  ප්‍රදේශය සොයා ගෙන එහි වර්තමාන තත්වය දැක බලා ගැනීම වෙනුවෙනි.

මේ වන විට එම ප්‍රදේශයේ දෙමළ හා මුස්ලිම් ජනතාව ස්ථිර නිවාස ඉදිකරගෙන  පදිංචිව සිටි.

එම අවස්ථාවට ප්‍රදේශයේ ඉඩම් කොමසාරිස් ජනරාල් ජී. කීර්ති ගමගේ ද එක්ව සිටි අතර ඔහු පවසන්නේ සිංහල ජනතාව නැවත එම භූමියේ පදිංචි කිරීමේ සුදානමක් නොමැති අතර එම ප්‍රදේශයේ වර්තමාන තත්වය පෙන්වා දීම සදහා ඔවුන් එම ස්ථානයට  ගෙන ආ බවයි.

ඉඩම් කොමසාරිස් ජනරාල් ජී. කීර්ති ගමගේ  එහිදී මාධ්‍යවේදීන්ට පවසා සිටියේ 1983 දී  පමණ මඩකලපුවේ සිංහල ගම්මානයක් පැවැති අතර යුද්ධයේ ආරම්භයත් සමග ඔවුන්ට සිය ගම් බිම් අතහැර යාමට සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු සොයා බැලු අතර අවසන් වරට සම්පුර්ණ විස්තර සටහන් කරගැනීමක් මෙහිදී  සිදු වන බව පැවසු  ඉඩම් කොමසාරිස් ජනරාල්  වැඩි දුරටත් මාධ්‍යට පවසා තිබුනේ  සිංහල ජනතාව පදිංචි වී සිටි බව කියන ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද  කිරීමට නියමිත බවයි.

නමුත් මේ වන විට එම ප්‍රදේශයේ  වෙනත් ජනතාවක් පදිංචිව සිටින බැවින් සිංහල ජනතාව එම ඉඩම් ආපසු නොඉල්ලන බවත් ඉඩම් කොමසාරිස් ජනරාල් තව දුරටත් සදහන් කළේය.

ඉඩම් කොමසාරිස් ජනරාල් ජී. කීර්ති ගමගේ මාධ්‍යවේදීන්ට තව දුරටත් පවසා සිටියේ මේ වන විට වසර හතලිහක පමණ කාලයක් ගෙවී ගොස් ඇති බැවින් මේ වන විට ජීවත් වන්නේ සිංහල මුල් ඉඩම් හිමිකරුවන්ගේ දරුවන් වන අතර ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ එකක්  බවයි.

ඔවුන් වෙනුවෙන් ඉඩම් ලබා දීම සදහා මේ වන තෙක් නිශ්චිත ස්ථානයක් තෝරාගෙන නොමැති අතර සුදුසු ස්ථානයක් බලා ඔවුන්ට යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ඔහු සදහන් කළේය.

සිංහල ජනතාව 80 දශකයේ මුල් කාලයේ පදිංචිව සිටි බව කියන ස්ථානය හදුනා ගැනීම  සදහා ගිය අවස්ථාවේදී දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍යන් සමග එක්වු දෙමළ හා මුස්ලිම් ජනතාව විරෝධතා දියත් කර ඇත්තේ ආණ්ඩුව පිට පළාත්වලින් ගෙන්වූ 200ක් පමණ සිංහලයන් පිරිසක් මඩකලපුවේ, වාකරේ කාරමුනෙයි පදිංචි කිරීමට  උත්සාහ ගන්නා බවට චෝදනා කරමිනි.

පළාත් බද මාධ්‍යවේදීන් පවසන පරිදි  පිටපළාත් වලින් පැමිණ සිටි සිංහල ජනතාවට කාරමුනෙයි ග්‍රාමයේ අතීතයේ ඉඩම් පැවැති බව සනාථ කිරීම සදහා ඔවුන් සතුව ලියකියවිලි තිබේ.

දැනට එම භුමියේ පදිංචිව සිටින දෙමළ හා මුස්ලිම් ජනයා පවසන්නේ තමන් 1962 වසරේ සිට එහි පදිංචිව සිටින බවයි.

සියලු දෙනාගේම යුතුකම විය යුත්තේ සිංහල, දෙමළ , මුස්ලිම් සියලුම ජාතීන් මේ රට තුල සමගිව සමාදානයෙන් සෑම ප්‍රදේශයකම ජීවත් වීම බවයි ඉඩම් කොමසාරිස් ජනරාල් ජී. කීර්ති ගමගේ පවසන්නේ.

“අපි එක ජාතියකට එක ප්‍රදේශයක් සීමා කරන එක මං හිතනවා සුසුදු නැහැ,” යි ඔහු තව දුරටත් සදහන් කළේය.

 

Social Sharing
නවතම