දුම්රියේ මළගම සනිටුහන් කිරීමක්ද?

රටේ සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක් බවත්, ඊට අදාල කරුණු මොනවදා යන්න දැනුවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය  ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවා ඇත.

දුම්රිය ධාවනය නොකරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දුම්රිය බලධාරීන් පවා නොදන්නා බව පෙන්වා දෙන අතර, නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයකට අනුව දුම්රිය ධාවන කටයුතු ආරම්භ කරන ලෙසත්, එසේ ආරම්භ කිරීමට නොහැක්කේ නම් ඒ සඳහා බලපා ඇති කරුණු මොනවාද යන්න පිළිබඳවත් දැනුම්වත් කරන ලෙස මෙමඟින් ඉල්ලා තිබේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කොරෝනා වසංගත තත්වය නිසා මාස දෙකකට අධික කාලයක් දුම්රිය ධාවන කටයුතු නතර කර ඇති අතර  කොරෝනා වසංගත තත්වය පාලනය කිරීම සඳහා එසේ කිරීම සම්බන්ධයෙන් එකඟ වන බවය.

මේ වනවිට රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ආරම්භ කර  ඇති අතර පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වල සේවකයින් සේවයේ යොදවා ඇති බවත්  පාසල් ආරම්භ කර,  කඩ සාප්පු සියල්ලම විවෘත කර ඇති බවත් පෙන්වා දෙන දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ බස් රථ ධාවනයද  ආරම්භ කර ඇති බවය. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණද, ඒ පිළබඳව නිසි අවධානයකින් කටයුතු කරන බවක් පෙනෙන්නට නැති බව අවධාරණය කර ඇති ලිපියෙන් පෙන්වා දෙන්නේ  මේ ආකාරයෙන් රටේ බොහෝ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති අතර, දුම්රිය සේවකයින් බොහෝ දෙනෙක් රාජකාරී වල නිරත කර ඇති බවය.

එසේ වුවද, දුම්රිය ධාවනය නොකිරීම නිසා, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවකයින්ට මෙන්ම ප‍්‍රවාහන මාධ්‍යක් ලෙස දුම්රිය භාවිතා කළ සියළු මගීන්ට දැඩි දුෂ්කර තාවයකට මුහුණදීමට සිදුවී ඇති බව අවධාරණය කර සිටින වෘත්තිය සමිති ලිපිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් මස 01, 14, 21 වශයෙන් අවස්ථා කිහිපයකදී ම දුම්රිය ධාවනය කිරීමට සැලසුම්කර තිබුණද, එය සිදුනොවූ බවය.

නැවත දන්වන තුරු දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා ඇති බව දුම්රිය බලධාරීන් මේ වන විට නිවේදනය කොට ඇත. මෙය දුම්රිය සේවයේ අවසානය සනිටුහන් කිරීමක් ද යන්න සැක සහිත බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

අනිකුත් සියළු කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නේ නම්, දුම්රිය ධාවනය පමණක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබීම බරපතල ප්‍රශ්නයක් බවත් දුම්රිය ධාවනය නොකරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දුම්රිය බලධාරීන් පවා නොදන්නා බව පෙන්වා දි ඇත.

Social Sharing
නවතම