වී මොල් රජයට පවරා ගන්නා ලෙස ඇමති රොෂාන්ගෙන් රජයට යෝජනාවක්!

සහල් මාෆියාව නැති කිරීම සදහා මෝල් මාෆියාකරුවන්ගේ වී මෝල් රජයට පවරාගෙන එහි සේවකයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කර හෝ ජනතාවට ප්‍රධාන ආහාරය  සාධාරණ මිලකට ලබා ගැනීමේ අයිතිය රජය තහවුරු කිරීමට කටයුතු කළ යුතු යැයි පළාත් සභා, පළාත් පාලන රාජ්‍ය  අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේ ඊයේ (21) පැවති වැඩසටහනකට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහි දී ඇමතිවරයා මෙසේ ද කීය.

සහල් මිල සම්බන්ධයෙන් කොහොමත් ඉදිරියේ දී අපි අනිවාර් යයෙන් ම පියවර  ගන්නවා. මොකද අපි දන්නවා නැවතත් මාෆියාව ක්‍රියාත්මක වෙනවා. අපේ යෝජනා තියෙනවා. ඒ යෝජනා අපි ආණ්ඩු පක්ෂයේ අපේ කණ්ඩායම ඇතුලේ සාකච්ඡා කෙරෙනවා. මේ සම්බන්ධයෙන් ගතයුතු තීන්දු තීරණ මොනවද කියලා.

අද ගොවියත් අසරණයි. පාරිභෝගිකයත් අසරණයි. අර වී මෝල් මාෆියා කාරයෝ ටිකක් මේ ගසා කෑම කරගෙන යනවා. මොකද සහල් මිල වැඩි වෙන්න ඩොලර් බලපාන්නේ නෑ නේ. කිරි පිටි සීනි නම් පිටරටින් ගේන හින්දා ඩොලර් ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. හාල් කියන්නේ දේශීය නිෂ්පාදනයක් නේ. ඒකට ඩොලර් ඕන නෑ. මෙතන තියෙන්නේ මංකොල්ල කෑමක් සූරාකෑමක්, බඩගෝස්තරවාදී  මෝල් කාරයෝ නිසා තමයි මේක වෙන්නේ.

මට ආරංචියි කීරි සම්බා මිල ගොඩක් ඉහළ නැගලා කියලා. මේ ජනතාව ඉතාම අසාධාරණ ලෙස ජනතාව මං කොල්ල කෑම නතර කළ යුතුයි. ඒ නිසා මේ වෙලාවේ රජයක් විදිහට තීන්දු තීරණ ගන්න ඕන. මේ මෝල් එක්කෝ රජයට පවරාගෙන ඒවාගේ වැඩ කරන සේවකයෝ රජයට හරි බදවාගෙන  මේ මෝල් ක්‍රියාත්මක කරන්න ඕන ජනතාව වෙනුවෙන් මොකද ප්‍රධාන ආහාරය. ප්‍රධාන ආහාරය මිනිස්සුන්ගේ අයිතියක් ප්‍රධාන ආහාරය ලබාගන්න. ඒ නිසා රජයක් විදිහට මහ ජනතාවට ප්‍රධාන ආහාරය ලබා ගැනීමට මේවගේ මෝල් රජයට පවරාගෙන එහි සේවකයෝ රාජ්‍ය සේවයට බදවාගෙන හරි මේ මෝල්වලින් හාල් නිෂ්පාදනය කරලා ජනතාවට ලබා දෙන්න ඕන. මේ මෝල් කරුවෝ ජනතාව ගැනත් ගොවියන් ගැනත් පාරිභෝගිකයන් ගැනත් හිතලා කටයුතු කරන්නේ නැත්නම් රජයක් විදිහට අපි තීන්දුවක් ගත යුතුයි.” යැයි ද පැවසීය.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම