පා.ම. ජගත් කුමාරට පක්ෂයෙන් විනය පරික්ෂණයක්?

ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනෙකු විවේචනයට කිරිමේ චෝදනාවට මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ලක්ව ඇත.

ඔහු සම්බන්ධයෙන් වහාම විනය කමිටුව රැස් වී සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට ප්‍රකාශ කර ඇත.

මේ සඳහා තවමත් ප්‍රමාද වී ඇත්තේ අගමැතිවරයා ඉතාලියේ සංචාරයකට ගොස් ඇති බැවිනි. ඔහු අද (20) දින මෙරටට පැමිණි අතර ඒ් අනුව ඉදිරියේදි විනය කමිටුව රැස් වීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ජගත් කුමාර මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පහුගියදා විවේචනයට ලක් කර තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා  සහ විදුලි බල අමාත්‍ය  ගාමිණී ලොකුගේ මහතාවය.

පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කර යැවීම සම්බන්ධයෙන් මෙම දෝෂාරෝපණය ඔවුන්ට එල්ල විය. මේ සිද්ධිය පදනම් කරගෙන ජගත් කුමාර මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පාදුක්ක  ප්‍රාදේශීය  සම්බන්ධීකරණ  කමිටුවේ සභාපති ධූරයෙන්ද ඉකුත් 17 වැනිදා  ඉල්ලා අස් වී තිබුණි.

මේ වන විට ආණ්ඩු පක්ෂයේම මැති ඇමතිවරු අතර මත ගැටුම් පවතින බව නොරහසකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ සිද්ධියද ඊට කදිම උදාහරණයකි.

ශානි

Social Sharing
නවතම