කතෝලික සභාව පොලිස්පතිගෙන් ඉල්ලීමක් කරයි!

2019 පාස්කු දිනයේදී කතෝලික ජනතාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල වන බවට 2017 වසරේදී තමන් මැල්කම් රංජිත් කාදිනල්වරයා දැනුවත් කළ බව බොදුබල සේනාවේ ප්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ හිරු රුපවාහිනියේ `සලකුණ` නම් වැඩසටහනට ඉකුත් 13 වැනිදා සහභාගිවෙමින්ය.

එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන කතෝලික සභාවේ පියතුමන් කොළඹ අගරදගුරු නිවසට මාධ්‍යවේදීන් කැඳවා  පැහැදිලි කර සිටියේ  “පාස්කු ප්‍රහාරය සිදුවී අවසන් වන තෙක් ම, කතෝලික ජනතාවට එරෙහිව එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ හෝ පොලිසිය හෝ ඥණසාර හිමි හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකු හෝ විසින්  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ව දැනුම්වත් කර නොතිබූ බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන,“ බවය.

“ඥානසාර හිමියන් හා කාදිනල්වරයා අතර   2017 වසරේ පැවති හමුවකදී මුස්ලිම් ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් පමණක්“ කරුණු ඉදිරිපත් කර ඇති බව ඔව්හු පැවසුහ.

පාස්කු ප්‍රහාරය පිලිබඳ කෙරෙන පරීක්ෂණ ගැන දැඩි විවේචනයක් කතෝලික සභාව විසින් ආණ්ඩුවට එල්ල කරද්දී,  කලක්  නිහඬව සිටි බොදු බල සේනා ප්‍රධානි ගලබොඩඅත්තේ  ඥානසාර හිමියන් හදිසියේ මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කර  කතෝලික සභාව විවේචනය කිරීමට ඉදිරිපත් වී සිටින බව පෙනී යයි.

ආයුධ සූදානම්

ඉතාලි සංචාරයේදී  අගමැති මහින්ද රාජපක්‍ෂට  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිකරන ලෙස  ඉල්ලා යුරෝපාවාසී ලාංකිකයන්ගේ විරෝධය එල්ල වී දිනකට පසු පැවති  මෙම  රුපවාහිනි වැඩසටහනට එක්වූ  ඥානසාර හිමි වැඩි දුරටත් කියා සිටියේ  “පාස්කු ප්‍රහාරය වැනිම තවත් අන්තවාදී ප්‍රහාරයක්  ඕනෑම අවස්ථාවක එල්ල වීමේ හැකියාවක් තියෙනවා, ඕනෑම වේලාවක පුපුරුවා හැරීම සඳහා ආයුධ  සූදානම්“ බවය.

එහිදී හෙළිවූයේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව බොදුබලසේනා නායකයා කල්තියා දැන සිටි බවය. ඒ තොරතුරු රජයේ ආරක්ෂක අංශ වෙත ලබා දී ඇතිදැයි කතෝලික සභාව විමසා සිටියි.

ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සහ සාක්ෂිද, ප්‍රහාරයට අදාළ කණ්ඩායම කවුද යන්නත්, ඔවුන් සිටින ස්ථානය ගැනත් තමන් දන්නා තොරතුරු ජනාධිපති වෙත යොමු කර ඇති බවද ඥානසාර හිමි මෙම වැඩ සටහනේදී වැඩි දුරටත් හෙළිදරව් කර තිබේ.

“ ඥානසාර හිමියන් විසින් සඳහන් කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ද දැනුම්වත් කර ඇති බවනමුත් , එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ, බුද්ධි අංශ සහ පොලීසිය ආදී අදාල වගකිවයුතු ආයතන සහ පුද්ගලයන් නිසි පරිදි දැනුම්වත් කර තිබේද, එකී ආයතන සහ පුද්ගලයන් එම ප්‍රහාර සම්බන්ධයෙන් නිසි විමර්ශනයන් සිදුකර තිබේද, වගකිවයුත්තන් එකී ප්‍රහාර වැලැක්වීමට අවශ්‍ය නිසි  පියවර ගෙන තිබේද, ප්‍රහාරය සිදු කිරීමට සම්බන්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න ආදී කරුණු සම්බන්ධයෙන් කිසිවක් එහිදී ප්‍රකාශ වූයේ නැත,”  යැයි   කතෝලික පියවරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රශ්න කර සිටියහ.

ඥානසාර භික්ෂුවගේ එම හෙළිදරව්ව පාදක කරගනිමින් කතෝලික පියවරුන්, පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ  ඒ ගැන  නිසි අවධානය යොමු කර, අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් පැවැත්වීමටත්,  විමර්ශන මඟින් හෙළිදරව් කරගන්නා තොරතුරු අනුව එම ප්‍රහාර වලක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගැනීමටත්, එවැනි ප්‍රහාරයකට සම්බන්ධ පුද්ගලයන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙසත්ය.

කොළඹ අගරදගුරු නිල නිවසේදී 16 වැනිදා  පැවති  මාධ්‍ය හමුවට   අගරදගුරුපදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ  ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, අගරදගුරුපදවි මාධ්‍ය ප්‍රකාශක  ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු , පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික  සිරිල් ගාමිණී  පියතුමන්ලා සහභාගි වුහ.

Social Sharing
නවතම