ජනපතිගේ හදිසි නීතිය, ජෙනරාල් පාලනයට තල්ලුවක්ද? – නීතිඥ දුලාන් දසනායක

gotabaya rajapaksa emergency regulations sri lanka gazette

පසුගිය අගෝස්තු මස 30 වන දින ජනාධිපතිවරයා විසින් අංක 2243/1 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාව මුළුල්ලෙහිම හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට තිබේ.  එකී ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලය ප්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටස ක්‍රියාත්මක කරමින් එම දෙවන කොටසේ පස්වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර අත්‍යවශ්‍ය ආහාර සැපයීම සදහා වන හදිසි නීති රෙගුලාසි මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

වර්ෂ 1971 සිටම වර්ෂ 2011 පමණ වන තෙක් වසර 40 ක පමණ කාලයක් අඛණ්ඩව හදිසි නීති තත්වය මත ජීවත් වූ ශ්‍රී ලංකාවාසීන් හදිසි නීතිය නොමැතිව ජීවත් වූයේ ඉතා කෙටි කලකි. නව යොවුන් පරම්පරාව හැර ඊට පෙර පරම්පරා කිහිපයකටම සාමාන්‍යකරණය වී ඇති හදිසි නීතිය යළිත් පැනවී ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශනයේත්, ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ තුළත්, පාර්ලිමේන්තු විවාදය තුළ දී ආණ්ඩුවේ නියෝජිතයන් දැක්වූ අදහස් තුළත් ගැබ් වී ඇත්තේ මේ හදිසි නීතිය අත්‍යවශ්‍ය වන්නේ ව්‍යාපාරික මාෆියාව පරාජය කිරීමටත්, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා හා ආහාර නිසි පරිදි ලබා දෙමින් ජනතාවගේ සුබසිද්ධිය උදා කරලීම සදහා බවයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස හා පස්වන වගන්තිය

ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය අනුව ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස ක්‍රියාත්මක කරමින් එහි පස්වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කර තිබේ.  එකී දෙවන කොටසේ පස්වන වගන්තිය අනුව ජනාධිපතිවරයාට;

මහජන ආරක්ෂාව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ කැරලි කෝලාහල සිවිල් කලකෝලාහල මැඩපැවැත්වීමට හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම පවත්වාගෙන යාමට අවශ්‍යය සහ යෝග්‍ය යැයි ජනාධිපතිවරයාට සිතෙන පරිදි රෙගුලාසි සම්පාදනය කිරීම, පුද්ගලයින් රඳවා තබා ගැනීමට අවසර හා පහසුකම් ලබා දීම සහ කිසියම් දේපළක් හෝ ව්‍යාපාරයක් රජයට පවරා ගැනීමට  හෝ පාලනය කිරීමට අවසර දීම, ඉඩම් හැර වෙනත් ඕනෑම දේපලක් රජයට පවරා ගැනීම, ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වීමට සහ පරීක්ෂා කිරීමට අවසර දීම, ඕනෑම නීතියක් සංශෝධනය කිරීම සඳහා, ඕනෑම නීතියක් ක්‍රියාත්මක වීම අත්හිටුවීම සඳහා, සහ වෙනස් කිරීමක් සහිතව හෝ රහිතව ඕනෑම නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවසර දීම සහ එමෙන්ම වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සහ දඬුවම් කිරීම යුද අධිකරණයක ආකාරයේ නඩු විභාග මගින් සහ එම ආකාරයේ රෙගුලාසිවලට අනුව සිදු කිරීමට විධිවිධාන සැලසීම යනාදී ක්‍රියා සිදු කිරීමට බලය ලබා දෙයි.

මීට අමතරව දෙවන කොටසේ ඇති 7 වන වගන්තිය තුළ අනෙකුත් සියළු නීති අභිබවා හදිසි නීති රෙගුලාසි බලපැවැත්වෙන බවත් සදහන් වෙයි. එමෙන්ම මේ යටතේ පනවන හදිසි නීති රෙගුලාසි හා නියෝග කිසිදු අධිකරණයකදී ප්‍රශ්න කල නොහැකි බව 8 වන වගන්තියේ දැක්වෙයි.

මහජන ආරක්ෂක ආඥා පනතේ තුන්වන කොටස සහ 17 වන වගන්තිය

මහජන ආරක්ෂක ආඥා පනතේ තුන්වන කොටසේ 17 වන වගන්තියේ දක්වා ඇත්තේ ජනාධිපති තුමා කියන අත්‍යවශ්‍ය සේවා ගැනයි.  අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම පිළිබද දැඩි රෙගුලාසි ගණනාවක් එම වගන්තියේද ඇතුළත් වෙයි. ජනාධිපතිවරයාට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේ ගැටළුව විසදීමේ ඇත්ත වුවමනාවක් ඇත්නම්, අඩු තරමේ ඔහුට මහජන ආරක්ෂක ආඥා පනතේ තුන්වන කොටස ක්‍රියාත්මක කල හැකිව තිබුණි. නමුත් එහ ඔහු නොකලේ ඇයි?

ඉහත කී ඇත්ත වුමනාව පිළිබද සැක පහළ වන්නේ එවිටය. මෙම 17 වන වගන්තියේ වෘත්තීය සමිති හා ඒවායේ ක්‍රියාමාර්ගයන් සම්බන්ධ ඉතා සුවිශේෂී කරුණක් ඇතුළත් වෙයි. එය නම් කාර්මික ආරවුල් පනතේ නිර්වචනයේ ආකාරයේ කාර්මික ආරවුලක් සම්බන්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම මගින් මෙම තුන්වන කොටසේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් සිදු නොවන බවයි. එනම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට හා කම්කරු අයිතීන්ට යම් පමණක හෝ නිදහසක් මෙම තුන්වන කොටස ක්‍රියාත්මක කිරීමෙන් සිදු වෙයි. වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ඒ ආකාරයේ හෝ සීමිත නිදහසක් ලබා දීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නැති බව පෙනෙන්නනේ ඔහු අත්‍යවශ්‍ය සේවා ගැන කියමින් අත්‍යවශ්‍ය සේවාවන්ට සෘජුව අදාළ තුන්වන කොටස ක්‍රියාත්මක කරනවා වෙනුවට අතිශයින් මර්ධනකාරී දෙවන කොටස ක්‍රියාත්මක කිරීමයි.

අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට, පාරිභොගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට, ආපදා තත්වයන්ට මුහුණ දීමට වෙනත් නීති නැද්ද?

අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමටත්, පාරිභෝගිකයා සුරැකීමටත් මෙන්ම ව්‍යසන තත්වයන්ට මුහුණ දීමටත් එනම් ජනාධිපතිවරයාගේ අරමුණු ඉටු කර ගැනීමට අදාළ වෙනත් සාමාන්‍ය නීති ගණනාවක් මෙරට තුළ ව්‍යවස්ථාදායකය විසින් පනවා ක්‍රියාත්මක කරයි.

අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලංකාවේ ඇති ප්‍රමුඛතම නීතිය 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතයි. එහි දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සේවාවන් ගැසට් කිරීමේ හැකියාව ඇත. මේ ආණ්ඩුවද සේවාවන් 12ක් මෙම පනත යටතේ අත්‍යවශ්‍ය සේවා ලෙස මේ වන විටත් ගැසට් කර ඇත.

පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සදහා වූ මෙරට ප්‍රමුඛ නීතිය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරිය පනතයි. එහි 15, 16 හා 17 වගන්ති හි පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගණනාවක් හදුන්වා දී තිබේ. සෘජුව සිදු කල හැකි නඩු පැවරීම්ද එයට අයත්. එමෙන්ම එහි 58 වගන්තිය අනුව භාණ්ඩ තහනමට ගෙන රාජසන්තක කිරීමට බලය ලබා දී තිබේ.

වසංගත හෝ වෙනත් ස්වභාවික විපත් හේතු කොට ගෙන සිදු වන ව්‍යසන තත්වයකට මුහුණ දීමට බොහෝ පාර්ශවයන් එක් වී 2005 අංක 13 දරණ ව්‍යසන කළමණාකරන පනත සකස් කර එය පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබීය. මේ පනත බිහි වන්නේ ලංකාව මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික ව්‍යසනය වන සුනාමි ව්‍යසනයෙන් පසුවයි. එකී ව්‍යසනයෙන් පසුව ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය යාන්ත්‍රණය මුහුණ දුන් ගැටළුද සැලකිල්ලට ගනිමින් මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආකාරයක ව්‍යසනයක් ඉතා පුළුල්ව විග්‍රහ කරමින් මෙම පනත පරිපූර්ණ පනතක් ලෙස සකස් කර තිබේ. විශේෂයෙන් වසංගත රෝගී තත්වයකදී ඇතිවන ව්‍යසනයද මෙහි විෂය පථයට ඇතුල් කිරීමට තරම් මෙය සකස් කල වියතුන් ප්‍රඥා ගෝචර වී තිබුණා.

මෙම ව්‍යසන කළමනාකාරණ පනත සම්මත කිරීමෙන් පසු ඒ සදහා වන යාන්ත්‍රණයද සකස් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලද, ප්‍රාදේශීය ලේකම් කාර්යාලද, පොලිස් ස්ථානද, හමුදා කදවුරුද, ජාතික මට්ටමේ ආයතනද ඇතුළත්ව සැදුම්ලත් යාන්ත්‍රණයක් සකස් කර මේ වන විටත් ක්‍රියාත්මක වෙයි. මෙම පනතේ 11 වන වගන්තිය අනුව ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. නමුත් ජනාධිපතිවරයා ඒ කිසිවක් මායිම් නොකර මිලිටරිය මත විශ්වාසය තැබූ බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ඒ අනුව ජනාධිපතිවරයා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවා එහි ප්‍රධානත්වය හමුදාපතිවරයාට පැවරීමට කටයුතු කරන ලදී. එපමණක් නොව කොවිඩ් මර්දනයට අදාළ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම, එන්නත්කරණය සහ අනෙකුත් කටයුතුද සෞඛ්‍ය සේවකයන් අවතක්සේරු කර මිලිටරිය උලුප්පමින් පෙන්වීමට සංවිධානාත්මකව කටයුතු කරනු ලැබූ ව නොරහසක්. කෙසේ වෙතත් මේ වන විට එකී බලකායෙන් උගත් වෛද්‍යවරුන් ඉවත්ව යාමේ ප්‍රවණතාවක් මතු වී තිබේ.  විශේෂයෙන් ජනාධිපිවරයා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධානීන් ලෙස මිලිටරි ජනරාල්ලා හා අද්මිරාල්ලා පත් කොට හමාරයි. පාරිභෝගික කටයුතු අධිකාරිය පාලනය කරන්නේත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක්. දැන් මේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙසත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක් පත් කොට තිබේ.

ජනාධිපතිවරයා මේ වසංග තත්වය පාලනයේදී හා මේ වසංගතය මැද රට පාලනය කිරීමේදීත් වඩා විශ්වාසය තබා ඇත්තේ සිවිල් රාජ්‍ය යාන්ත්‍රණය ගැන නොව මිලිටරිය ගැන බවත් පැහැදිලියි. එතනින්ද නොනැවතී ජනාධිපතිවරයා විසින් මෙකී හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පෙනෙන්නනේ ජනාධිපතිවරයා වසංගත තත්වය පාලනයටත් වසංගත තත්වය තුළ රට පාලනය කිරීමටත් විශ්වාසය තබන්නේ සාමාන්‍ය නීති නොව මර්ධනකාරී නීති කෙරෙහි බවයි. විශේෂයෙන් දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධි ජනාධිපතිවරයා 1893 නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත හා 1947 අංක 25 දරණ මහජන ආරක්ෂක ආඥා පනත වැනි මර්ධනකාරී යටත්විජිත නීති ඉදිරියට ගනිමින් රට පාලනය කිරීම හාස්‍යයට කරුණක් වුවත් එමගින් ඔහු ලබා දෙන ඉඟිය පුරවැසියා වහා සැලකිල්ලට ගත යුතුයි.

-නීතිඥ දුලාන් දසනායක-

Social Sharing

Related posts