විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි

වසංගත ව්‍යසනය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව තව දුරටත් ලබාදෙන්නැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පෙන්වා දී ඇත්තේ පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට විශේෂ කැපකිරීම් කිරීමට සිදුව ඇති බවය.

විශේෂයෙන්ම වසංගතය නොතකා සේවයට පැමිණීමට, ප‍්‍රවාහන පහසුකම් සපයා ගැනීමට මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානමක් ගැනීමටද සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව  ලෙස  රුපියල්  7500 බැගින් පසුගිය මාස තුන සදහා ලැබුන බව සදහන් කරන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසන්නේ එම දීමනාව ඉදිරියට ලබාදීම පිළිබදව මෙතෙක් දන්වා නොමැති බවයි.

එබැවින් වසංගත තත්ත්වය පහව ගොස් නැති නිසාවෙන් මෙම දීමනාව ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ටැම්පිටියේ සුගතානන්ද හිමි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

Social Sharing
නවතම