සිද්ධි සම්බන්ධ තොරතුරු ගැන මාධ්‍ය හමු තියන්න කලින් CID යට කියන්න – ආරක්ෂක ලේකම්

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම් වෙනුවට හුදෙකලා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ඵල රහිත දෙයක් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

රට තුල පැවති සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් වැනි සමාජයට තර්ජනයක් වූ සියලු ක්‍රියාවන්, 2019 වර්ෂයේදී වර්තමාන රජය බලයට පත් වූ දා සිට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉහළ පෙළේ රාජ්‍ය ආරක්ෂක ආයතනවල ඒකාබද්ධ ප්‍රයත්නයන් මගින් බිඳ දමා ඇති බවද ඒ් මහතා පවසයි.

පසු වසර එකකුත් මාස නවයකටත් වඩා අඩු කෙටි පාලන කාලයේදී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 3,200 ක්, පාතාල නායකයින් ග්‍රහණයේ තිබු නීති විරෝධී අවි ආයුධ සහ වෙනත් වර්ග වල මත්ද්‍රව්‍ය රැසක් අද වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු පෙන්වා දි සිටියි.

කොවිඩ් – 19 මුවාවෙන් කිසිවෙකුටත් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට රජය ඉඩ නොතබන බවද අවධාරණය කර සිටින ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ රැදවියන්ට බන්ධනාගාරය සමීපව සන්නිවේදනය සිදු කිරීම අවහිර කර එය දැඩි ලෙස නියාමනය කර ඇති අතර එසේ සිදුකලේ සියලු අපරාධ බන්ධනාගාර හරහා ක්‍රියාත්මක කරන බව අප විසින් හඳුනාගෙන ඇති නිසා බවය.

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීම එහි මූලික පියවරක් වූ අතර ඉහළ පෙළේ අපරාධකරුවන් මේ වන විටත් එහි සිරගත කර ඇති බවත් මීගමුව සහ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරවල ජංගම දුරකථන සංඥා අවහිර කිරීමේ පද්ධතියක් සවි කර ඇති අතර මහර සහ වැලිකඩ බන්ධනාගාර සඳහාද මෙවැනි ආරක්‍ෂක පියවරයන් හඳුන්වා දීමට නියමිත බව ඔහු පවසයි.

දිවයිනට මත්ද්‍රව්‍ය ගලා ඒමේ සියලු මාර්ග හඳුනාගෙන ඇති බවත් ඔහු හෙළි කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ශානි

 

 

Social Sharing
නවතම