අලි හොරුන්ට අලි තෑගී – කේ. සංජීව

තමන් ඇමරිකානුවෙක්ව සිට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වුණේ ඇයි යන ප්‍රශ්නයට නැවතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දෙසින් උත්තරයක් ලැබී ඇත. ‘මම ආවේ නඩු ඉවර කරන්න’ ඒ උත්තරයෙන් කියවෙයි. 2021. 09. 06 වැනි දින එම අධිකරණය හරි අපූර්ව නියෝගයක් ලබාදී ඇත. ඒ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන 01 හි ස්ථානාධිපතිවරයාගේ කරුණු දැක්වීම අරඹයා ය. මෙම නඩු කටයුත්ත කුමක්ද? මේ නඩුවට අදාළ රහස් පොලිස් විමර්ශනය කුමක්ද?

මේ නඩුව වෙන දෙයක් නොව නීතියට පිටින් හීලෑ අලි ඇතුන් ඇති කිරීම පිළිබඳව පසුගිය යහපාලන කාලයේ සිට ඇදෙමින් ගිය නඩුකරය යි. විමර්ශනය කුමක් දැයි දැන් ඔබට සිතාගන්නට අසීරු නොවෙනු ඇති. දැන් අපි මේ නියෝගය දෙසට හැරෙමු..

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 01 හි ස්ථානාධිපති විසින් මෙම අධිකරණයට කරුණු වාර්තා කරමින් අධිකරණ ක්‍රියාමාර්ග සහ විමර්ශන සිදුකරමින් පවතින හීලෑ අලි ඇතුන් සම්බන්ධ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සහ සන්තකයේ පැවරීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් සහ ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) 2021.08.19 දිනැති අංක 2241/41 වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ එම ගැසට් පත්‍රයේ දෙවන කොටසේ සඳහන් වන ආකාරයට හීලෑ අලි ඇතුන් ලියා පදිංචිය විධිමත් කිරීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවට හා එම ගැසට් පත්‍රයේ දෙවෙනි කොටසේ සඳහන් පරිදි මාස 3 ක් ඇතුලත හීලෑ අලි ඇතුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට නියම කර ඇති බවට අධිකරණය වෙත වාර්තා කර ඇත.”

” එම උපදෙස් හා නියෝග ප්‍රකාරව මෙම නඩුව යටතේ ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිටින පහත විස්තර සඳහන් හීලෑ අලි ඇතුන් මෙම අධිකරණයේ නියෝගය පරිදි රඳවා ඇති ස්ථානයෙන් නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත භාරදීමට ක්‍රියාකරන ලෙස ද ඔබ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සන්නස් පත්‍රයක් මගින් අංක 21 ඒ පැඟිරිවත්ත මාවත, මිරිහාන නුගේගොඩ ලිපිනයේ එන්. ජී. රාජපක්ෂ වෙත පිරිනමා ඇති හස්තියා එම අයට මුදාහරින ලෙසද මෙම අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත”

“ඉහත ඉල්ලීමට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව ඉහත අංක 1 සිට අංක 13 දක්වා සඳහන් නඩු භාණ්ඩ සන්තකයේ තිබූ අය වෙත භාර දීම සඳහා ද සන්නස් මගින් පිරිනමා ඇති හස්තියා අංක 26 ඒ, පැගිරිවත්ත මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයේ පදිංචි එන්.ජී රාජපක්ෂ වෙත මුදා හැරීමට ඔබට මෙයින් නියෝග කරමි.”

කවුද එන් ජී රාජපක්ෂ?

මේ රාජපක්ෂවරයා වෙන කවුරුත් නොව වර්තමාන ජනාධිපතිවරයා ය. 2015 යහපාලන ආණ්ඩුව පැමිණි පසුව මේ කියන රාජපක්ෂවරයා තමන් සන්තකයේ රඳවාගෙන සිටි අලි පැටවුන් දෙදෙනෙක් රජය වෙත ලබාදුන් පුවත ලංකාදීප එසැන පුවත් වාර්තා කරන්නේ මෙසේ ය. ‘ ගෝඨාභයට අලි පැටවු බරක් වේ _ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ නීත්‍යානුකූලව සිටි බව කියන අලි පැටවුන් දෙදෙනා ඔහු සිය කැමැත්තෙන් පින්නවල අලි අනාථාගාරයට භාර දී ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.’ මේ පුවත පලවූ දිනය වන්නේ 2015 ජනවාරි මස 31 දා යි. ලංකාදීපයේ මේ පුවතට අනුව සහ එවක මේ පිළිබඳව අප ලියූ දේ වලට අනුව ඔහු පින්නවලට යළි භාර දුන් අලි පැටවුන් දෙදෙනාගෙන් එක් පැටියෙක් සන්නස් පත්‍රයක් මාර්ගයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඔහුට ලැබී ඇත. අනෙක් පැටවා පින්නවලින් එවකදී ලබාගෙන ඇත. ජනාධිපතිවරයාට අමතරව මෙලෙස යළි අලි සුරතල් බැලීමට වාසනා ලද්දෝ කවුරුන්ද? ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර, වරුණ ලංකා විජේසිංහ, එස් එන් රොෂාන් ( අලි රොෂාන් ), ඩබ්ලිව් පී එච් දීප්ති කුමාර, ඩබ්ලිව් එම් බී සමන්ත උදය, බුද්ධික දේශප්‍රිය, ධරණාගම කුසල ධම්ම හිමි (අපවත්වී ඇත), අජිත් කුමාරසිරි ගාල්ලගේ, හසන්ති චම්පිකා, භාරත දේශප්‍රිය යන අයට මේ අනුව නැවතත් අලි සුරතල් බලන්නට වාසනාව උදාවී ඇත. බලය ගිලිහෙන විට බරක් වූ අලි පැටවුන් දැන් සැහැල්ලුවක් වී ඇත.. අහෝ නීතිය..!

අලි ජාවාරමේ ඉතිහාසය සැකවින්

මේ ලියුම්කරු මෙම අලි ජාවාරම පිළිබඳව කරුණු සොයන්නට පටන් ගන්නේ 2014 තරම් ඈතකය. ඒ හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සතුව කැලෙන් අල්ලගෙනවිත් හොරාට ඇති කරන අලියෙක් සිටින බවට ලද තොරතුරකට අදාළව ය. ඉන්පසුව ලියුම්කරු මේ අලි හොරකම පිළිබඳව එවකදී රාවයට දිගටම ලිවීය. එයට ප්‍රතිචාර ලෙස තිලිණ ගමගේ එවක විනිසුරුවරයා ලියුම්කරුට සහ පුවත්පතට එන්තරවාසියක් ද එවනු ලැබීය. දැන් ඒ අලියාට ද නැවත තිලිණ ගමගේ වෙත යාමට කාලය උදාවී ඇති බව පෙනෙයි. අංක 409 මීගොඩ ඕවිටිගම පදිංචි චන්ද්‍රරත්න යටවර නැමැත්තෙක්ගෙන් මිලදී ගත්තා යැයි කියන මේ අලි පැටවාද හොරාට මව මරා කැලයෙන් අල්වා ගත් අහිංසක සතෙක් ය. කැලෙන් නීතියට පිටින් අල්ලාගැනීමේ සිට කූඨ ලේඛන සෑදීම දක්වා බොහෝ අනීතික ක්‍රියා මේ අලි ජාවාරම පිටුපස තිබී ඇත. අප එම තොරතුරු සියලු සාක්ෂි සහිතව එකල හෙළිකළෙමු. එහිදී හිටපු නියෝජ්‍ය විගණකාධිපති අඹන්වෙල මහතා මෙම වන සත්ව ජාවාරම රට හෙළි කිරීම අරඹයා විශාල සේවයක් කළේ ය. 2013 වර්ෂයේ ඔක්තෝම්බර් 17 වැනි දින වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමුකරන විගණන විමසුමකින් මුල්වරට නීතිවිරෝධීව කැලයෙන් අල්ලාගෙනවිත් ඇති දැඩි කරමින් සිටි අලි පැටවුන් 22ක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත. එමගින් මෙම ජාවාරමේ තොරතුරු රටට හෙළිවිය. ඒ අරඹයා අඹන්වෙල මහතා කළ සේවයට උපහාර ලෙස පසුව ඔහුට ස්ථාන මාරුවක් ද හිමි විය.

ආසියාවේ විශාලතම වන සත්ව ජාවරාම ලෙස සැලකෙන මෙම අලි ජාවාරමේ මහා මොළය සේ ක්‍රියා කළ එවක වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එච් ඩී රත්නායක ගැන මෙන්ම මෙම ජාවාරම පිටුපස සිටි වෙළෙන්ඳා අලි රොෂාන් ගැන ද බොහෝ කරුණු අනාවරණය විය. වනජීවීන් ගේ ආරක්ෂාවට සහ රැකගැනුමට පිහිටුවා තිබෙන වනජීවී දෙපාර්තමේන්තුවේ යම් යම් නිළධාරීන් කෙතරම් දූෂිතව ක්‍රියාත්මකවී ඇත්ද යන්න මෙම සිද්ධියට අදාළව කෙරුණු විගණන විමර්ෂනවලින් මෙන්ම පොලිස් පරීක්ෂණවලදී ද මැනවින් ඔප්පුවිය. එමෙන්ම මේ විමර්ශන ඉදිරියට යනවිට අධිකරණයේදී තව තවත් විශ්මිත තොරතුරු එළියට ආවේ ය. එහෙත් එම පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාවලියේ ප්‍රථිපල දැන් ලැබෙන්නේ මෙලෙසය. එදා නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය උනන්දුවෙන් ඉදිරියට මෙහෙයවූ විමර්ශන සහ නඩුකරයන් දැන් ඔවුන්ම මැදිහත්වී ආපස්සට හරවමින් සිටී. එයින් පෙනෙන්නේ කුමක්ද?.. අතීතයට ද බලපාන ලෙස ගැසට් පත්‍ර ගසමින් වර්තමාන ආණ්ඩුව මහාපරිමාන අලි ජාවාරමකට නැවත සැරසෙන බව පෙනෙයි. මේ නඩු තීන්දුව එහි කසකරු විය හැකිය.

Social Sharing
නවතම