අමානුෂික ක්‍රියා වලින් පීඩාවට පත්ව සිටින ලාංකීක ජනතාවට සහන දෙන්නැයි මෙරට සංවිධානයක් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි!

මුලික මානුෂිය මුලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන වලින් සමන්විත  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් බැටකන ශ්‍රී ලාංකියන් පිරිසකට සහන ලබා දීමට මැදිහත් වන්නැයි  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ වෙත ලිපියක් යොමු කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා ඇත්තේ  සැප්තැම්බර්  13 වැනි දින  ආරම්භ  වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  කවුන්සිලයේ 48වන සභා වාරයට ඉදිරිපත් කරන  ශ්‍රී ලංකාව පිළිබද වාර්තාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ඒ යටතේ රදවා සිටින  රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබදව ද ඇතුලත්  කරන ලෙසටය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති  නීතිඥ සේනක පෙරේරාගේ අත්සනින් යුතුව සැප්තැම්බර් 4 වැනිදා යොමු කර තිබෙන එම ලිපිය නීතිවිරෝධි රදවා ගැනීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයාටත්, යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රධානියාටත් යොමු කර තිබේ.

ශ්‍රී ලංකාවට දී ඇති GSP+ බදු සහනය නැවත සලකා බැලීමේදී දීර්ඝ කාලීන වශයෙන් රඳවාගෙන සිටින පුද්ගලයන් ගැන අවධානය යොමු කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.

“ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහසට හා නීතියේ ආධිපත්‍යයට හානිකර ලෙස ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ පීඩාකාරිත්වයට විසදුම් ලබා දීම” මැයෙන් යොමු කර තිබෙන ලිපිය මගින් නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙන්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත තාවකාලික පදනමකින් ක්‍රියාත්මක කිරිමට පනවා තිබුණද මේ වන විට එය ශ්‍රී ලංකා නීති පද්ධතියේ කොටසක් වී තිබෙන බවයි.

” කෙසේ වුවද රටේ කිසිම කැරලිකාරිත්වයක් හෝ ප්‍රචණ්ඩකාරිත්වයක් නැතිව තිබියදීත් මෙම පනත ක්‍රියාත්මක කිරීම තුළම ආණ්ඩුවට වෙනත් අරමුණක් තිබෙන බව පැහැදිලිය”

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත  මගින් විධායකය වෙත ලබා දී ඇති පුළුල් බලතල අනුව  අධිකරණයට නොගොස්ම නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් වධහිංසාවන්ට පත් කිරීම් සහ චෝදනා නොමැතිව දීර්ඝ කාලයක් විවිධ ස්ථානවල රඳවා තබා ගැනීම් වලට හැකියාව ලැබී ඇති බව මිෂෙල් බැෂලේ වෙත පෙන්වා දෙන නීතිඥ සේනක පෙරේරා තව දුරටත් අවධාරණය කර ඇත්තේ ශ්‍රී  ලංකා ජනාධිපති විසින් ත්‍රිපුද්ගල කම්ටුවක් පත් කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ සිටින රැදවියන්ට සහන ලබා දීමට යන බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති බවයි.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකය පිළිගත් මූලික මානුෂිය මූලධර්මයන්ට එරෙහිව යන ප්‍රතිපාදන මෙම පනතේ ඇතුලත් නිසාම බොහෝ අවස්ථාවල මෙය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රි ලංකා රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇත.”

ඒ අනුව ශ්‍රී ලංකා රජය 2021.01.21 සහ 2021.02.12 දිනයන් හි අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්.එච්.එම්.ඩී නවාස්ගේ සභාපතිත්වයෙන් යුක්තව මානව හිමිකම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කල අතර, එහි අතුරු වාර්තාව 2021.07.20 වන දින ජනාධිපතිවරයාට බාර දී ඇති බවත් නීතිඥ සේනක පෙරේරා පෙන්වා දෙයි.

නමුත් මේ දක්වා අතුරු වාර්තාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට හෝ කැබිනට් අනුකමිටුව මගින් සාධනීය කාර්යක් කිරිමට ශ්‍රී ලංකා රජයට නොහැකි වී ඇති බවට චෝදනා කරන නීතිඥ සේනක පෙරේරා පවසන්නේ දිගින් දිගටම රජය විසින් මෙසේ කල්මැරීමේ ප්‍රතිපත්තියක සිටිමින් කටයුතු කරමින් සිටින අතරතුර රැදවියන් විශාල පිරිසකට තම ජිවිත කාලයෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන බවයි.

වසර 12 කට වැඩි කාලයක් චූදිතයන් වශයෙන් රදවාගෙන සිටින සිංහල සහ දෙමළ 11 දෙනකුගේ විස්තර වාර්තාවක්ද  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් කවියා, ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙක් වන හිජාස් හිස්බුල්ලා, මාධ්‍යවේදියෙක් වන කීර්ති රත්නායක, පක්ෂ නායකයන් වන අසාද් සාලි සහ රිෂාද් බදුර්දීන් යනාදීන්ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින ආකාරයත් නීතිඥ සේනක පෙරේරා සිය ලිපිය මගින් සිහිපත් කර තිබේ.

” ඒ අනුව සමස්ත සමාජයම භීතියට පත් කරමින් කටයුතු කිරීමට මෙම පනතේ තිබෙන අනීතික හා අමානුෂික භාවය නිසාම පාලකයන්ට හැකියාව ලැබී ඇත. ”

වසර ගණනාවක් පුද්ගලයන් අනීතික ලෙස රදවා තබා ගැනීමටත්, පුද්ගල අයිතීන් යටපත් කිරීමටත් ත්‍රස්තවාදය වැලැක්විමේ පනතට හැකි වී ඇති බව පෙන්වා දෙන නීතිඥ සේනක පෙරේරා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සහ යුරෝපා පාර්ලිමේන්තුවට  වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ වර්තමානයේ GSP සහනය රැක ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කිරීම සදහා තමන්ගේ උනන්දුව ජාත්‍යන්තරයට පෙන්වීම සදහා රජය රැවටිලිකාර ලෙස කටයුතු කරමින් සිටින බවයි.

නීතිඥ සේනක පෙරේරා සිය ලිපිය මගින් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා රජය සමග පවත්වන සාකච්ඡා වලදී මෙම කරුණු ඉස්මතු කරමින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මගින් පීඩාවට ලක් වුවන්ට සහන ලබා දීමට කටයුතු කරන ලෙසයි.

 

 

 

 

Social Sharing
නවතම