වරාය / ගුවන්තොටුපල ළඟ නිසා ලැබෙන ෆයිසර් !

ෆයිසර් එන්නත් හම්බන්තොටට ලබා දීම ගැන මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත.

පහුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද ඊට විරෝධය පළ කර තිබුණි. ඒ් අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා තිබුණේ මේ සිදු වෙන දේවල් ඔහුවත් නොදන්නා බවකි.

මෙයට කෙලින්ම චෝදනා එල්ල වුයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාටය. ඔහු හමුදාව ලවා හොඳම එන්නත හම්බන්තොට තරුණ තරුණියන්ට ලබා දෙන බව පැවසුණි. නමුත් ඔහුද කියා තිබුණේ තමන් ඊට  සම්බන්ධ නැති බවත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක් මත සිදු වුවක් බවය.

මේ අතර රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙයට අපූරු පිලිතුරක් සපයා තිබුණි. ඒ්  hiru Hard Talk නම් සාකාච්ජාවකට සහභාගී වෙමිනි.

ඔහු පවසන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 -29 අතර අයට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම දිස්ත්‍රික්කයේ වරායක් සහ ගුවන්තොටුපලක් පිහිටි නිසා බවය.

වරාය සහ ගුවන්‌තොටුපල නිසා කොවිඩ් විකෘති ප්‍රභේද  එම දිස්ත්‍රික්කයේ සිඝ්‍රව පැතිර යෑමට ඉඩ ඇති බවත් එයට විසඳුමක් විදියට මෙලෙස ෆයිසර් එන්නත ලබා දුන් බවත් ඒ මහතා පවසා ඇත.

නමුත් පහුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා තිබුනේ  ෆයිසර් එන්නත් ප‍්‍රමාණය ඉතාමත් සීමිත බැවින් සාමාන්‍ය සෞඛ්‍ය තත්වයේ පසුවන සයිනොෆාම් එන්නත මගින් හොද ප‍්‍රතිශක්තියක් ඇති කළ හැකි වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට ෆයිසර් එන්නත් ලබාදීම අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවායාමක් බවය.

එමෙන්ම පිළිකා රෝග, වකුගඩු රෝග වැනි ශරීරයේ ප‍්‍රතිශක්තිය අඩු අයට සයිනොෆාම් එන්නත් මාත‍්‍රා දෙකම ලබාදුන්නද, ඔවුන්ගේ ශරීරයේ ප‍්‍රතිශක්තිය සම්පූර්ණයෙන්ම නොලැබෙන බවද, මේ නිසා මෙම කාණ්ඩයට ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට‍්‍රසෙනිකා එන්නත් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දී තිබුණි.

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා ඇති මෙම කියමන මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල ඉතා වේගයෙන් සංසරණය වෙමින් ඇත. හුදෙක් එයට හාස්‍යය වැකි ඉදිරිපත් වී ඇත.

වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මුහුණු පොතේ විමසා තිබුණේ කොළඹට සයිනෆාම් දුන්නේ බොරැල්ලට ළඟ නිසාද? යන්නය.

එමෙන්ම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙතින් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාට විරෝධය පළ වෙමින් ඇත. එසේ නම් කොළඹ හා ගම්පහ, කලුතර ප්‍රදේශ වලටද වරායන් හා ගුවන්තොටුපල පවතින හෙයින් ෆයිසර් එන්නත ලබා දීමට තිබු බව මෙහිදි ජනතා විමුක්ති පෙරමුණද ඔහුගෙන් ප්‍රශ්න කර සිටියි.

කෙසේ නමුදු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා නම් පවසා සිටින්නේ එන්නත්කරණ ප්‍රමුඛතා ලැයිස්තු කිසිසේත් දේශපාලන හිතවත්කම් මත ලබා දී නොමැති බවත් ෆයිසර් එන්නත සුපිරි එන්නතක් නිසා හම්බන්තොටට එය ලබාදුන්නා නොවන බවත්ය. සෑම දිස්ත්‍රික්කයකටම ෆයිසර් එන්නත් ලබාදීමට සූදානම් කර ඇති බවත් ඔහු පවසයි.

80% ඉක්මවා එන්නත් කර තිබූ දිස්ත්‍රික්ක වල මෙම එන්නත ලබාදීමේදී කොළඹ සහ කලුතරට සාපේක්ෂව හම්බන්තොට ජනගහණය අඩු බැවින් ලැබුණු ෆයිසර් එන්නත් තොගය සාධාරණ ලෙස එම ප්‍රදේශයේ එන්නත්කරණයට ලබාදුන් බවද, එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව ඉදිරිපත් වූ බැවින් ඒ සදහා අවස්ථාව ලබාදුන් බවද ඔහු කියා සිටියි.

ෆයිසර් එන්නත් හමුදාවට භාරදී නොමැති බවද, අධ්‍යාපනය හැදෑරීමට විදෙස්ගතවන්නන් සදහා එන්නත්කරණ ක්‍රියාවලිය හමුදාව හරහා ක්‍රියාත්මක බැවින් එම වැඩසටහනට අවශ්‍ය එන්නත් හමුදාවට ලබාදුන්නද දිගින් දිගටම ෆයිසර් එන්නත් හමුදාවට පමණක් ලබානොදෙන බවද, එන්නත් ලැබීම අනූව සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා තීරණ මත අදාල ක්‍රමවේදයන් ඔස්සේ එන්නත් බෙදාහැරීම් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ෆයිසර් එන්නත හම්බන්තොටට ලබාදීමත්, එය හමුදාව භාරයට පත්කිරීමත් ආදී වහයෙන් එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධව මේ දිනවල මාධ්‍යයෙහි සැරිසරන ඇතැම් පුවත් සම්බන්ධව රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ විමසුමට ප්‍රතිචාර වශයෙනි.

ශානි

 

පෙර ලිපි වල සබැඳිය

හොඳම දේ හම්බන්තොටටද?

 

Social Sharing
නවතම