ෆයිසර් එන්නත් ව්‍යාපෘතිය හමුදාවට දීම ගැන GMOA විරෝධය!

ෆයිසර් එන්නත් ව්‍යාපෘතිය හමුදාවට මුළුමනින්ම  භාරදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  දැඩි විරෝධය එල්ල වී තිබේ.

අගෝස්තු 29 වැනි ඉරිදා ජනමාධ්‍ය වාර්තා කර තිබුනේ ෆයිසර් (Pfizer) එන්නත ලබා දීමේ පූර්ණ බලය යුද හමුදාවට ලබා දුන් බවය.

එන්නත්කරණ වැඩපිළිවෙලේදි එන්නත් ලබා දිය යුතු ක්‍රමවේදය, එන්නත් බෙදා හැරීම සහ එන්නත් ලබා දීම සෞඛ්‍ය අංශ මගින් සිදු විය යුතු ක්‍රියාවක් බවත්, ඊට අදාළ සියලු තීන්දු තීරණ සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනෝල්ඩ්ගේ මූලිකත්වයෙන් පිහිටවූ එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා අංශයේ කේන්ද්‍රිය ස්ථානයකින් සිදුවියයුතු  බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

“හමුදාවට පමණක් එහෙම නැතිනම් මිලිටරියට පමණක් ෆයිසර් එන්නත ලබාදෙන්න ගත්ත තීරණය ගැන අපි දැඩි අප්‍රසාදය පළකරනවා. හමුදාවට එන්නත් ලබාදෙනවා නම් යුද්දෙ කාලේ ආයුධ ලබාදෙන්න තිබ්බෙ සෞඛ්‍ය අංශයට,” යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් විෂය භාර අමාත්‍යවරයාට මේ වන විටත් මේ බව  දැනුම් දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලය යොමු කර තිබෙන ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිලිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර පැසසුමට ලක්ව සෞඛ්‍ය දර්ශක ලොව දියුණු රටවල මට්ටමට ගෙන ඒමට ඉවහල් වු ක්‍රමවේදයක් වන නමුත් කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලියේදි ඒම වැඩපිලිවෙල ඉතා ආක්‍රමික ලෙස සිදු වන බවයි.

කොවිඩ් රෝගය යනු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවසන  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තව දුරටත් පෙන්වා දෙන්නේ  ඒය පාලනය කිරීම සදහා තාක්ෂණික දැනුම ඇත්තේ සෞඛ්‍ය අංශයට වන අතර එන්නත්කරණ වැඩපිලිවෙල සහ වසංගතය පාලනය සදහා එහි තාක්ෂණික තීන්දු තීරණ වසංගත රෝග විද්‍යා අංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය ගත යුතු බවයි.

නමුත් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු මත පමණක් පදනම්ව තීන්දු තීරණ ගැනීම නිසා උද්ගතව ඇති ගැටලුව පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පසුගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යතුමන් සමග පැවති සාකච්ඡාවේදි ද  පෙන්වා දී තිබේ.

එහිදි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලා ඇත්තේ  වසංගත පාලනය හා එන්නත්කරණ වැඩපිළිවෙල සදහා නායකත්වය සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දිය යුතු බවයි.

එන්නත්කරණ වැඩපිලිවෙල ඇතුලු වසංගත පාලනය පිළිබද තීන්දු තීරණ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වගකීම් 6 අනුව විශේෂඥ කමිටු 6 ක් පිහිටුවා, මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනෝල්ඩ්ගේ ඍජු අධීක්ෂණයෙන් සිදු විය යුතු බවත් ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ  එන්නත්කරණ වැඩපිළිවෙල හා සෞඛ්‍ය අංශය මෙතෙක් ඒම පැසසුමට ලක්වුයේ සෞඛ්‍ය අංශය විසින් ලබා දුන් නායකත්වය තුලින් බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැවත නැවතත් අවධාරණය කර ඇත.

Social Sharing
නවතම