වෘත්තීය සමිති සාමාජිකයින් මර්දනය කිරිම ගැන ජනපතිට ලිපියක්!

අධ්‍යාපනය හමුදාකරණයට එරෙහිව විරෝධතා දියත් කළ ක්‍රියාධරයන් ඉලක්ක කරගනිමින් පොලීසිය විසින් සිදු කරන  මර්දනය නතර කිරීමට මැදිහත් වන ලෙස ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකත්වය  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා‌ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත අගෝස්තු 24 වැනිදා ලිපියක් යොමු කරමින්  වෘත්තිය සමිති නායකයන්  පෙන්වා දී ඇත්තේ එම විරෝධතාවයට සම්බන්ධ වූ නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය   භාවිතා කරමින්  විරෝධතාවයට  සහභාගී වු බවයි.

අගෝස්තු මස 03 වැනි දින කොතලාවල විශ්ව විද්‍යාල පනත් සංශෝධනයට එරෙහිව සිසු ජන ව්‍යාපාරය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් දියත් කළ අතර , එහිදී  රාජ්‍ය දේපලවලට හානි සිදු වූ බවට චෝදනා කරමින් පොලීසිය විසින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

“තවද, පොලීසිය විසින් ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඉන් කීපදෙනෙකු රිමාන්ඩ් ගත කර ඇප ලබාදීමට දිගින් දිගටම එරෙහි වෙමින් කටයුතු කරනු දැකගත හැකිවේ.”

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති වෙනුවෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් ජනාධිපතිවරයාට යොමු කල ලිපිය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ  ද අගෝස්තු 03 වැනි දින පැවති උද්ඝෝෂණයට සහභාගී වූ අතර මේ වන විට පොලීසිය ඔහු සොයමින් කාර්යාලයට සහ ඔහුගේ නිවසට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවයි.

ඉදිරියේදී රටේ ඇතිවිය හැකි ඉන්ධන හිගයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදු කළ වෘත්තිය සමිති නායකයෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්ද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර ඇත.

“තවද, ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් සංස්ථා ශාඛාවේ වෘත්තීය සමිති නියෝජිතයකු වන ආනන්ද පාලිත සහෝදරයාව මාධ්‍යවලට අසත්‍ය ප්‍රචාරයක් කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව තවදුරටත් අත්අඩංගුවේ රදවා ගැනීමට පොලීසිය විසින් ඉල්ලා ඇතත් සත්‍ය කරුණු පදනම් කර ගනිමින් කරුණු ඉදිරිපත් කිරීමට ඇති අයිතිය මූලික අයිතියක් බව පිළිගෙන ඇති ගරු මහේස්ත්‍රාත්වරිය ආනන්ද පාලිත සහෝදරයාව ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත.”

ඇන්ටන් මාර්කස් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ අගෝස්තු මස 03 වැනි  දින පැවති උද්ඝෝෂණයට සම්බන්ධ වූ නායකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය  භාවිතා කරමින් විරෝධතාවයට  සහභාගී වී ඇති අතර, චතුර සමරසිංහ  ඇතුළු ක්‍රියාධරයන්ට  රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවයි.

රට තුළ මතු වී ඇති තත්වය  තුළ ඉහත සිදුවීම් වැනි සිදුවීම් අනවශ්‍ය ගැටළු නිර්මාණය කිරීමක් වන බැවින් සිය ඉල්ලීම කෙරෙහි යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි දැඩිව විශ්වාසය පළකර ඇති ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන්  ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා ඇත්තේ පොලීසිය විසින් ඉහත සිදුවීම් පාදක කර ගනිමින් සිදුකරන මර්දනය නතර කිරීමට මැදිහත්වන ලෙසයි.

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන  නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය,  ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සම්මේලනය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය,  වන වෘත්තිය සමිති ඒකාබද්ධව මෙම ලිපිය යොමු කර තිබේ.

Social Sharing
නවතම