ඩොලර් උපයන නිදහස් වෙළඳ කලාප වල ජිවිත වටින්නේ නැද්ද? – චන්ද්‍රා දේවනාරායන

කොවිඩ් පළමු රැල්ලේදී සියලුම නිදහස් වෙළඳ කලාප වල මෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා වල නියමිත විදිහට සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කළ නමුත් කොවිඩ් තෙවැනි රැල්ල වන විට ඒ්වා නාමිකව පමණක් සිදු වන බව මානව සංවර්ධනය සඳහා වන විප්ලව පැවැත්මෙහි (RED) අධ්‍යක්ෂිකා  චන්ද්‍රා දේවනාරයාන මහත්මිය පවසයි.

එදා ශල්‍ය මුව වැසුම් සේවක සේවිකාවන්ට ආයතනයෙන් ලබා දුන් නමුත් අද වන විට ආයතනයෙන් දෙනු ලබන්නේ නිමි ඇඳුමක් මසා නිම කළ රෙදි කොටසකින් මැසු රෙදි මුව වැසුමක් බවත්, ශල්‍ය මුව ආවරණ අවශ්‍ය නම් සේවක සේවිකාවන්ට මුදල් ලබා දී පෞද්ගලිකව ලබා ගැනීමට සිදුව ඇති බව ඇය පවසයි.

කලාප වල කොවිඩ් වසංගතය පැතිර ගියද මේ වන විට ආයතන විෂබීජහරණය වීමක් සිදු වීමක් නොවන බව පෙන්වා දෙන ඇය කියා සිටින්නේ ඔවුන්ට කොවිඩ් ආසාදිතයෙකු සිටි භෝජනාගාරයේම ආහාර ගැනීමටත්, ඔහු හෝ ඇය භාවිතා කළ වැසිකිලියද භාවිතා කිරිමට සිදුව ඇති බවයි.

එසේම දෑත් විෂබීජහරණය කෙරෙන සැනසයිටර් පවා පළමු කොවිඩ් රැල්ලේදී ආයතන වලින් ලබා දුන් නමුත් මේ වන විට ඒ්වාද සේවක සේවිකාන්ට මිලදී ගැනීමට සිදුව ඇතැයිද ඒ් නිසා බොහෝ අය ඒ්වා මිලදී ගැනිමෙන් වැළකී සිටින බවද ඇය පෙන්වා දෙයි.

කොවිඩ් ආසාදිත බවට සැක සහිත වුවහොත් අද වන විට මේ සේවක සේවිකාවන්ට පෞද්ගලිකවම PCR හෝ රැපිඩ් ඇන්ටිජන් සිදු කර ගැනීමට සිදුව ඇති බවත් අවම වශයෙන් ඒ් සඳහාවත් ආයතන වලින් ඔවුන්ට සහනයක් නොලැබෙන බව චන්ද්‍රා දේවනාරායන මහත්මිය කියා සිටියි.

මේ වන විට මේ ආයතන මුදල් පමණක් ටාගට් කරමින් කම්කරුවන් සේවයේ යොදවමින් ඔවුන්ගෙන් ඩොලර් උපයා ගන්නා බවත් කම්කරුවන්ගේ අවම සෞඛ්‍ය පහසුකම් කෙරෙහිවත් ඔවුන් අවධානයක් යොමු නොකරන බව ඇය අවධාරණය කර සිටියි.

ආයතනයෙන් 50% ක සේවක පිරිසක් සේවයට කැඳවන ලෙස කියා තිබුණත් මේ වන විට ඇතැම් ආයතන 100% ම කම්කරුවන් සේවයට කැඳවන බවත් නමුත් ඔවුන්ට අසනීප වු විට ආයතනයෙන් සොයා නොලැබීම බරපතල කණගාටුදායක තත්ත්වයක් බවද ඇය වැඩිදුරටත් කියා සිටියි.

ඇය මේ බව කියා සිටියේ පහුගියදා සුම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

ශානි

Social Sharing
නවතම