මාධ්‍යවේදී කීර්ති රත්නායක ත්‍රස්ත පනත යටතේ රැදවීම නපුරු පූර්වාදර්ශයක් – INSD

මෙම අගොස්තු මස 14දා අත්අඩංඟුව ගත් ලංකා ඊ නිව්ස් මාධ්‍යවෙදී කීර්ති රත්නායක දින පහකට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90කට සිරගත කිරීම නපුරු පූර්වාදර්ශයක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිනිස වන අන්තර් ජාතික ජාලය ප්‍රකාශ කරයි.

මේ තාක් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නඟා නැති අතර ජාතික ආරක්ෂක ඇමැති සරත් වීරසේකර ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ලංකාවෙහි ඉන්දීය තානාපති කාර්යාලයට යම් කිසි තොරතුරක් ලබා දීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඔහු විසින් සපයන ලද තොරතුර වන්නේ පසුගිය 15දාට යෙදුණු ඉන්දීය ජාතික දිනය දා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බවය.

එම තොරතුරු දැනුම් දීම නිසා කිසිදු මහජන කැළඹීමක් හෝ  ජාතික ආරක්ෂාවට තර්ජනයක් හෝ ඇතිවූයේ නැත.

කිර්ති රත්නායක අත්අඩංඟුවට ගන්නා ලද්දේ ඔහු කොල්ලුපිටිය පොලිසියට ප්‍රකාශයක් ලබා දී ආපසු යන අතරතුර පැහැර ගැනීමක් සිහි ගන්වමිනි.

ඉන් පසු ඔහුගේ අඹුදරුවන් ජීවත්වන මහනුවර නිවසටද රහස් පොලිස් කන්ඩායමක් පැමිණියේය. ඔවුහු සෝදිසි වරෙන්තුවකින් පෙන්වීමෙන් තොරව ඒ නිවස පරීක්ෂා කර එහි තිබූ ජංගම දුරකථන කිහිපයක් සහ දරුවන් අධ්‍යාපනය සඳහා භාවිතා කරන පෙන්ඩ්‍රයිව් කිහිපයක් අත් අඩංගුවට ගෙන කොළඹ රහස් පොලිස් මූලස්තානයට ගෙන එන ලදී.

මේ සමඟම කීර්ති රත්නායකගේ සමිප පවුලක නිවසටද පැමිණි රහස් පොලිස් කන්ඩායමක් නිසි අවසරයකින් තොරව තුශාරා වන්නිආරච්චි නම් මාධ්‍යවේදිනියගේ උඩියටිකුරු කර සෝදිසි කරන ලදී. එහිදීද ඇය සතු පරිඝණකයක් සහ දත්ත ඩ්‍රයිවි ද පොලිස් භාරයට ගන්නා ලදී. කීර්ති රත්නායකගේ පරිඝණයක් ඇය සන්තකයේ ඇත්දැයි එම පොලිස් කණ්ඩයම ප්‍රශ්න කරන ලදී. පසුව රහස් පොලිස් මූලස්ථානයට කැඳවු ඇයගෙන් පැය පහක ප්‍රකාශයක් ලබා ගන්නා ලදී.

මාධ්‍යවේදී කීර්ති රත්නායක අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ මෙම සොදිසි කිරීම් දෙක මගින් පෙන්නුම් කරන්නේ මර්දනකාරී හස්තය බියගැන්වීම පිනිස ඔ්නෑම දුරක් යෑමට සූදානම් බවයි.

තවද මෙම අත්අඩංගුවට ගැනීම සහ බියගැන්වීම ශ්‍රී ලංකාවෙහි දියත්ව ඇති ප්‍රකාශනයේ නිදහස මර්ධනය කිරීමේ පුලුල් සැළැස්මක කොටසක් සේ සැළකිය යුතු බව  INSD ජාලය ප්‍රකාශ කරයි.

පසුගිය දිනයන්හි විරෝධතා මගින් හෝ පුවත්පත් සාකච්ජා මගින් හෝ සිය ප්‍රකාශනයේ අයිතිය භාවිත කළ දේශපාලන, වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් අත්අඩඟුවට ගැනීම් ගණනාවක්ම සිදුවිය.

මෙම අත්අඩංඟුවට ගැනීම් සමාජයට ලබා දෙන පණිවිඩය නම් විවේචනාත්මක සහ විසංවාදී අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීම රාජපක්ෂ ආණ්ඩුවේ ඇති සූදානමයි.

මාධ්‍යවේදී කීර්ති රත්නායක චෝදනා ඉදිරිපත් නොකර අත්අඩංඟුවට ගැනීමත් සහමුලින්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රුදවුම්බාරයට පත් කිරීමත් ශ්‍රී ලංකාවෙහි ප්‍රකාශණයේ නිදහස මුහුණ දී ඇති භයානක තත්වය පෙන්නුම් කරයි.

මාධ්‍යවේදීන් දරන මතවාදය. මාධ්‍ය ආයතනය හෝ ජාතිකත්වය නොසළකා ඔවුන්ගේ පුරවැසි අයිතීන් සුරැකිය යුතු බව INSD  ප්‍රකාශ කරයි.

මෙම අත්අඩංගුවට ගැනීම ඇතුලු මෑත කාලයෙහි සිදුවූ සහ තවමත් සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ බියවැද්දවීම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කැරෙන සියලු සිරගත කිරීම් හෙළා දකින ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාලය දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වලින්  උදක්ම ඉල්ලා සිටී.

(ජර්මනිය පදනම් කරගත් INSD නම් ශ්‍රී‍‍ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අන්තර් ජාතික ජාලය ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රජාවන් නියෝජනය කරයි.)

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර් ජාතික ජාලය වෙනුවෙන්

සේනක වත්තේගෙදර, රංජිත් හේනායකආරච්චි, සිවසාමි සිවරාජන්

Social Sharing
නවතම