ජනතා සේවයට කැපවූ පිරිසුදු දේශපාලනඥයා – මංගල

හිටපු අමාත්‍යවරයකු මෙන්ම කෘතහස්ථ දේශපාලනඥයකු වූ මංගල සමරවීර මහතා කොරෝනා වයිරසයේ ගොදුරක්ව පසුගිය 24 දා මෙලොවින් සමුගත්තේය. අපගේ සහෝදර දේශය පුවත්පතට ඔහු අවසන් වරට ලබාදුන් සාකච්ඡාව ඒ මහතාට ගෞරවයක් වශයෙන් මෙසේ පළකරමු.

 

2004 දී මම කදිරගාමර් අගමැති කරන්න වැඩ කළා. මම මේ කතාව පටන් ගන්නම් මංගල කියලම ආමන්ත්‍රණය කරලා?

හරියටම හරි එහෙම කතා කරමු.

 

මම දන්න, මම අහලා තියෙන මංගලගේ ඉතිහාසය අනුව ඉතාම කෙටි කාලයක් තුළ දේශපාලනමය වශයෙන් උඩට ආපු කෙනෙක්. නායකයන් බොහෝ දෙනකුගේ විශ්වාසවන්තම සගයෙක්. කාලයකදී ඡන්ද මැෂිමක්. මඩ ෆැක්ටරියක්. විපක්ෂයට අභියෝගයක්. මෑතක මේ රටේ මුදල් ඇමැති. ඊට පස්සේ ටික් ටොක් කළා. දැන් වෙන එකක්. එහෙම යුග කිහිපයක් පහුකරගෙන ආපු මංගල අද කවුද?  මොනවද කරන්නේ? මංගල සමරවීර කියන පුද්ගලයා මේ වෙද්දී ඉන්නේ හිතේ අමාරුවෙන්. මොකක්ද ඒකට හේතුව?

හේතුව තමයි අවුරුදු 31ක් මම පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඔබ කිව්වා වගේ මේ රටේ තීරණාත්මක අවස්ථාවල ඒ දේවල්වලට මැදිහත් වුණු කෙනෙක්. එහෙම බලද්දී 1948 ඉඳලා අද වෙනකල් ගත්තම අද වෙද්දී මේ රට විශාල විනාශයක අභිමුවට පැමිණිලා තියෙන්නේ. මම හිතේ අමාරුවෙන් ඉන්නවා කියන්නේ මේ වසර 72ක දේශපාලනය තුළ වසර 31ක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කෙනෙක් හැටියට මම මේ තත්ත්වය පෝෂණය කරන්න ඍජුව මැදිහත් නොවුණත් ඒ ගත කරපු කාලය මම පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසා මට නිතර හිතෙනවා, ඔළුවට වද දෙනවා, මමත් මේ අද තත්ත්වයට වගකියන්න ඕන නේද කියලා. ඒ වගේම අපේ රටට මොකද වුණේ කියලා අපි හැමෝටම මේ වෙද්දි ප්‍රශ්නයක් තියෙනවා. පසුගියදා මේ රට ඩොලර් බිලියනයක ණය ගෙව්වම මේ වෙද්දී මේ රටේ ඉතුරුවෙලා තියෙන විදෙස් සංචිත ප්‍රමාණය බිලියන 2.6ක ප්‍රමාණයක්. ඉතිහාසයේ කවරදාකවත් මේ වගේ තැනකට මේ රට වැටිලා නෑ. ඒ වගේම කවදාවත් අපේ මහ බැංකුව මේ තරම් ණයවෙලා මේ තරම් මුදල් අච්චු ගහලා නෑ. කවදාවත් රට ණය ශ්‍රේණිගත කිරීමේ පහළ තැනට දාලා නෑ. මේ නිසා අපි රටක් හැටියට භයානක තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. මේ තත්ත්වය ගැන මට බයයි.

 

ඔබ ඔහොම බය නම් රටේ මිනිස්සු කොහොම බය වෙන්න ඕනද? බය වෙලා විතරක් හිටියම ඇතිද?

නෑ. තවත් කල් නොදා මේ දැන්ම අපි හැමෝම පාට පක්ෂ කණ්ණාඩි ගලවලා දාලා එක තැනකට එන්න ඕන අපේ රටට මොකද වුණේ කියලා හිතන්න.

 

ඔබ කිව්වා රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයට ඔබලත් වගකියන්න ඕන කියලා?

ඔව්. මම විතරක් නෙමෙයි අපි සියලු‍ දෙනාම වගකියන්න ඕන. ඔබතුමත් මේ තත්ත්වයට වගකියන්න ඕන. හැබැයි මම ඊට වඩා ටිකක් වගකියන්න ඕන වැඩිපුර.

 

මේ රටට මෙහෙම දෙයක් වෙන්න කාරණා තියෙනවා කියලා මංගලත් මමත් දන්නවා. හැබැයි මේ තත්ත්වය ඇතිවෙන්න කොහේ හෝ පටන්ගැනීමක් තියෙන්න ඕන. අන්න ඒ ආරම්භය කොහෙද?

මම හිතන්නේ නිදහසෙන් පස්සේ මේ රටට විවිධ කණ්ඩායම් විසින් ආගම්වාදී, ජාතිවාදී, කල්ලිවාදී යල්පැන ගිය සංකල්ප ගෙනාවා. විශේෂයෙන් 1956 බණ්ඩාරනායක ප්‍රතිපත්තිය හරහා ගෙනාපු පංච මහා බලවේගය නමැති සංකල්පය තමයි මේ රට ගෝත්‍රවාදී තැනට තල්ලු‍ කළේ. ඒ මතවාදය කොච්චර වර්ධනය වුණාද කියනවා නම් 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ තනි සිංහල ආණ්ඩුවක් දක්වා වර්ධනය වෙලා ආවා. දැන් අපිට තේරෙනවා මේ යල්පැන ගිය මතවාදවලින් තවදුරටත් රටක් හැටියට අපිට ඉස්සරහට යන්න බෑ කියලා.

 

මේ තත්ත්වයෙන් ගොඩ එන්නට නම් ඔබ හිතන්නේ රට ඉක්මනින් වෙනස් විය යුත්තේ කොතනින්ද?

මේ රට දියුණුව කරා ගෙන යන්න තියෙන හොඳම ක්‍රමය තමා වෙළෙඳපොළ ආර්ථිකය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. කවුරු ඔළුවෙන් හිටගෙන කිව්වත් වෙන විකල්පයක් නෑ. හෙට ජවිපෙ බලයට ආවත් සමාජවාදයට වඩා මේ ක්‍රමය විතරයි විකල්පයක් වෙන්නේ. සමාජවාදී මත දරපු මේ ලෝකේ සමහර රටවල් ඉතාම පහත් මට්ටමට වැටිලා තියෙනවා.

 

එහෙනම් චීනය?

චීනය 2030-2040 වෙද්දී ලෝකයේ බලවත් ආර්ථිකය හිමි රට බවට පත්වෙනවා. ඒකට හේතු වුණේ මාවෝ සේතුන්ගේ තිබුණා සංස්කෘතික පෙරළියක්. මේ නිසා රටේ මිනිස්සු ලක්ෂ ගාණක් මැරුණා. මිනිස්සුන්ට බඩගින්නෙ ඉන්න වුණා. ඒ සියල්ල මැද්දෙ අද චීනය විශාල ආර්ථික තැනකට ඇවිල්ලා තියෙන්නෙ ලෝකෙ තියෙන ප්‍රබලම විවෘත ආර්ථිකය තියෙන රටක් නිසා. අද සමාජවාදය කියන බෝඩ් එක විතරයි චීනය තියාගෙන ඉන්නෙ. විවෘත ආර්ථිකය කියන දේ නියම ආකාරයෙන් ක්‍රියාත්මක කරන රටක් තමයි චීනය කියන්නෙ. ආයෝජකයන්ට ඔවුන්ගෙ රටේ ආයෝජනය කරන්න පුළුවන් රටක් හදලා තියෙන්නෙ.

 

ඔබ ඔය කියන ආයෝජකයන් සඳහා ලබාදෙන ඉඩකඩ ලංකාව තුළත් තියෙනවා. හැබැයි කොහොම කොයි ආණ්ඩුව විසින් ආයෝජනය සඳහා ඉඩම් ලබාදීම ඇතුළු දේ කරණකොට ගේන මතවාදී අරගලය තමයි පිටරැටියන්ට ඉඩම් විකුණනවා කියන චෝදනාව. ඔබ මොකද ඒ ගැන හිතන්නෙ?

ඒවා ඇත්තටම ගෝත්‍රිකවාදී අදහස්. මෙහෙට ඇවිල්ලා ඉන්වෙස්ට් කළා කියලා යනකොට ඒ දේවල් බෑග් එකක දාගෙන ප්ලේන් එකේ අරගෙන යන්න බෑ. මතක තියාගන්න චීනය එවැනි ආර්ථිකයක් හදලා තියෙන්නෙ ඔවුන්ට ප්‍රබලම අභියෝගයක් මෙන්ම හතුරකු වෙච්ච අමෙරිකානු ආයෝජකයන්ට චීනය තුළ ආයෝජනය කිරීමේ ඉඩ ලබාදීම නිසා. ඒ රටින් එන ආයෝජකයාගේ ආයෝජන විශාල නම් ඉඩම නිකම් දුන්නෙ. දුප්පත් රටකට අද ගොඩ යන්න පුළුවන් ක්‍රමය තියෙන්නෙ විදේශ ආයෝජකයන් හරහා. ඒ විදේශ ආයෝජකයන් ඉන්නෙ බටහිර ලෝකයේ.

 

ඔබ දැන් මේ මොන කතා කිව්වත් ඇත්තටම අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ මංගල සමරවීර මොකාටද මේ එන්න හදන්නෙ කියලා. පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔබගේ මීළඟ අරමුණ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළා. දැන් මේ දේ ගැන විවිධ අයට විවිධ අදහස් තියෙනවා. මට කියන්න මංගලගෙ අදහස මොකක්ද මේ දේ ගැන?

මගෙ හෘදසාක්ෂියට අනුව මේ රට වැටිලා තියෙන තැනින් වෙනස් කරන්න මගේ ජීවිතයේ අවසාන කාලෙදි හෝ උත්සාහ කරන්න ඕනෙ. හැබැයි ඒක සාර්ථක හෝ අසාර්ථක වෙයිද කියලා මට කියන්න බෑ. මම හැමෝටම කියන්නෙ හැමදාම දැන්වත් මේ රටේ අත්තිවාරම දාමු කියලා. අපි ‘48 නිදහස ලැබුවත් ලංකාව කියන මාලිගාව හදන්න ගත්තෙ අත්තිවාරම නැතුව. එන එන ආණ්ඩුව තමන්ට ඕන විදිහට තට්ටු ගැහුවට හදන හදන තට්ටුව කඩලා ගියා. අන්තිමේ ඉතුරු වුණේ සිහින මාලිගාවක් විතරයි.

ඒ කියන්නෙ මේ මංගලගෙ අලු‍ත් සංවිධානය මේ අත්තිවාරම දැමීමේ ආරම්භයක්?

මම කියන්නෙ මේ අත්තිවාරම දාන්න අපි බයියො අපි ටොයියො කියලා බෙදෙන්න බෑ. අපි කරන්න ඕනෙ ඉස්සෙල්ලාම අත්තිවාරම තියන්න අපි ශ්‍රී ලාංකීය කියන අදහස එකතුවෙන්. ඊට පස්සෙ අත්තිවාරමට පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමගිය, නිදහස, නීතියේ ආධිපත්‍ය මේ සියල්ල තියෙන්න ඕනෙ. එතකොටයි මේ අත්තිවාරම ශක්තිමත් වෙන්නෙ. මතක තියාගන්න ආයෝජකයො එන්නෙ එවැනි ශක්තිමත් අත්තිවාරමක් තියෙනකොට.

 

ඔබ ඔය කියන සියලු‍ සංකල්ප සහ මතවාද දැනට මේ අපට පේන සමාජය, අපට පේන පක්ෂ දේශපාලනය ඇතුළෙ ඒ ඒ පක්ෂ කර තියාගෙන ඉන්නෙ. ඔබත් ගේන්නෙ එවැනිම අදහසක්. ජනතාව කොහොමද හරි දේ හොයාගන්නෙ?

මෙහෙමනෙ. දැන් ජනතාව පහුගිය කාලෙම ඔය පක්ෂ කියන දේවල්වලටනෙ නැටුවෙ. හැබැයි ඒ කිසිම දෙයක් හරි විදිහට වෙලා නෑ. මං ඒකයි කිව්වෙ මේකට 1948 ඉඳන් පත්වෙච්ච ආණ්ඩු වගකියන්න ඕන. ඒ ආණ්ඩු සමහර අවස්ථාවල ගනු ලැබූ ජනතා හිතවාදී තීන්දුවලට විරුද්ධ වුණු විපක්ෂ ඉන්නවා. අන්න ඒ විපක්ෂත් වගකියන්න ඕනෙ. ඒ වගේම වැරදි තීන්දුවලට සහාය දුන්න ඒ පොරොන්දු ඒ විදිහටම බාරගත්ත ජනතාවත් මේකට වගකියන්න ඕනෙ. ඒ නිසා මේක 225කට සිදු කරන්න බෑ. ඒ සටන් පාඨයට මම විරුද්ධයි.

 

ඔබ කියන්නෙ 225 වගකියන්න ඕනෙ නෑ කියලද?

නෑ මම කියන්නෙ 225ටම විතරක් චෝදනා කරන්න බෑ. අද මේ වගේ පාර්ලිමේන්තුවක් හැදෙන්න ප්‍රධාන වශයෙන් හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ මනාප ක්‍රමය. පරණ අතුරු මැතිවරණ ක්‍රමය නවත්වලා දැමීමත් සරත් එන්. සිල්වා මහත්මයා දුන් තීන්දුව හරහා පක්ෂ මාරු කිරීමත් නිසා අද මන්ත්‍රීවරු තෑගිබෝග සල්ලිවලට පක්ෂය මාරු කරන තැනට පත්වෙලා. මේ කාරණා නිසා තමයි අද පාර්ලිමේන්තුව පාතාලකරණයකට ලක්වෙලා තියෙන්නෙ.

 

මංගල මේ වෙනකොට පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගෙනද ඉන්නෙ?

ඔව්.

 

ඒ කියන්නෙ ආයෙ කවදාවත් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන්නෙ නෑ?

නෑ.

 

මේ වෙනකොට තරුණ තරුණියෝ හිතලා තියෙන්නෙ කිසිම දේශපාලනඥයෙක් ගෑවුණු තැනක කිසිදු පිරිසුදු දේශපාලනයක් නෑ කියලා. ඔබ මේ කරන වැඩේ දේශපාලනිකයි. ඔබ ගාව ඉන්නෙත් තරුණ තරුණියො. එන්න ඉන්න අයට විශ්වාස කරන්න පුළුවන්ද මේ අලු‍ත් වැඩේ ගැන?

නෑ. ඒකට තමා අපි මේ උත්සාහ ගන්නෙ. අපි මේ පෙන්නන්න හදන්නෙ ඒ දේ. ඔවුන් හිතන හැමදෙනාම වගේම හැම දේශපාලනඥයම නෑ කියලා. මට ඇත්තටම වුවමනාව නෑ අනිකුත් දේශපාලනඥයන්ට වඩා මම වෙනස් කියලා පෙන්නන්න. මට ඕනෙ මේ තරුණ තරුණියන් විසින් මේ ක්‍රමය වෙනස් කරන එක. මම පුදුම වෙනවා ඇතැම් තරුණ තරුණියො එක්ක කතා කරද්දි ඔවුන්ට තියෙන දැනුම මම අවුරුදු 31ක් පාර්ලිමේන්තුවෙ ඉඳලත් සමහර දේවල් මම ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ අය මේ දේශපාලනයට මැදිහත් වෙන්න ඕනෙ. එහෙම නැතුව ඒක හරියන්නෙ නෑ කියලා ඈත්වෙලා හිටියොත් තව තවත් මේක ජරාජීර්ණ වෙනවා.

 

දැන් මේ ඔබ කරන්න හදන්නෙ සිස්ටම් චේන්ජ් එකක්ද?

ඇත්තටම ඔව්. හැබැයි ඔය කියන වචනය පසුගිය මැතිවරණවලදි නිකම්ම නිකම් වචනයක් බවට පත්වුණා. මේක ඇත්තටම චේන්ජ් එකකටත් වඩා සිස්ටම් කනපිට හැරවීමක්. හැබැයි මේක විප්ලවයක් නෙමෙයි.

 

ඔබ චන්ද්‍රිකා එක්ක හිටියා. මහින්ද එක්ක හිටියා. සරත් ෆොන්සේකා ගේන්නත් උදව් කළා. මෛත්‍රීපාල සිරිසේනටත් උදව් කළා. රනිල් වික්‍රමසිංහටත් උදව් කළා. අන්තිම කාලෙ සජිත් ප්‍රේමදාසත් කරළියට ගෙනාවා. ඉතින් ඒ අය එක්කත් සිස්ටම් චේන්ජ් එකක් කරන්න තිබ්බනෙ?

මම මාතර ආසනයේ සංවිධායක හැටියට මැතිනියගෙ ආරාධනයෙන් දේශපාලනයට ආවෙ සිස්ටම් චේන්ජ් කරන්න තමයි. ඒ විශ්වාසය තිබුණා. එදා මම පටන් ගත්තෙම මම දේශපාලනය කරපු මාතර දෙපැත්තෙම තරුණ තරුණියන් ඝාතනය කරපු නිසා. ඔව් මම එහෙම ඇවිල්ලා 1994 චන්ද්‍රිකා මැතිනියව බලයට ගෙනාවා. මොකද ඔය සිස්ටම් චේන්ජ් එකට තිබුණු හොඳම අවස්ථාව තමයි 94. හැබැයි යම් යම් දේවල් නිසා ඒක කරගන්න බැරි වුණා. ඇය ඇත්තටම උත්සාහ ගත්තා ඒ චේන්ජ් එක කරන්න. ඔබ ඔය කියන විදිහට මම පැන්නා වගේ හිතෙනවා ඇති ජනතාවට. හැබැයි මම හැමදාම දේශපාලනය කළේ මගේ ප්‍රතිපත්තිවල ඉඳගෙන.

 

ඔබ ඊට පස්සෙ මහින්දට උදව් කළා?

ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිතුමා අගමැති කරන්න මම 2004 දී ජනතා විමුක්ති පෙරමුණත් එක්ක කටයුතු කළා. ඒ වෙලාවෙ අනුර බණ්ඩාරනායකගෙ නමත් තිබුණා. හැබැයි චන්ද්‍රිකා මැතිනිය අනුරට කැමැති වුණේ නෑ පවුලෙ නිසා. නමුත් පක්ෂෙ බහුතරය වුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි සුදුසු කියලා. ඒ පක්ෂයෙ බහුතර මතයට තමයි මම එතුමාට සහාය දක්වන්න ඉදිරිපත් වුණේ. ඒ වගේ 2005 දී චන්ද්‍රිකා මැතිනියගෙ යෝජනාව උඩ කදිරගාමර් මහත්මයාගෙ ස්ථිරත්වය මත තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වුණේ. මම හිටියෙ එතුමගෙ කැම්පේන් මැනේජර් හැටියට. හැබැයි අවුරුදු දෙකක් යනකොට මට තේරුණා එතුමා යන්නෙ වැරදි පාරෙ කියලා. ඒ ගැටුම නිසා මාව කැබිනට් මණ්ඩලයෙන් අයින් කළා. මට තුන් වතාවක් ඇමැති ධුරය ගන්න එන්න කිව්වට මම ගියේ නෑ. ඒ ගියේ නැත්තෙ මගෙ ප්‍රතිපත්ති නිසා.

 

ඊට පස්සෙ තමයි ඔබ එජාපයට යන්නෙ?

ඔව්. මම 2010 වසරෙදි ම පාර්ශ්වය යටතේ එජාප පෙරමුණෙ හිටියා මාතරින් පාර්ලිමේන්තු යන්න. ෆොන්සේකාගෙ සිද්ධිය ගත්තාම ඒක එජාපයේ තීරණයක් නිසා මම උදව් කළේ. අනෙක ෆොන්සේකා කියන පුද්ගලයා සම්බන්ධයෙන් මට එදා ඉඳලා විශ්වාසයක් නෑ. (සිනාසෙයි)

 

හැබැයි ඔබ දකුණු අත වගේනෙ හිටියෙ?

ඒකට වැඩිය මාව පටලවන්න එපා. සම මාධ්‍ය ප්‍රකාශක හැටියට ෆොන්සේකා පත් කළේ මාවයි අනුර කුමාර දිසානායකයි. ඒවා අපි ඉල්ලලා ගත්ත ඒවා නෙමෙයි. ඊට පස්සෙ මම එක්සත් ජාතික පක්ෂයෙ සාමාජිකත්වය ගත්තා. මොකද ඒ වෙනකොට ශ්‍රීලනිපය විනාශ වෙලා තිබුණෙ. මම 2019 වෙනකම්ම හිටියෙ එජාප සාමාජිකයෙක් හැටියට.

එහෙම ඉඳලා සජිත් ප්‍රේමදාසව නායකයා කරන්න උත්සාහ කළා?

ඔව්. මම සජිත් ප්‍රේමදාස රටේ නායකයා කරන්න හැදුවෙ රාජපක්ෂවරුන්ට රටේ බලය තවදුරටත් යා යුතු නැති නිසා.

 

ඒ කියන්නෙ ඔබගේ වචනයෙන් කියනවා නම් ඒ වෙලාවෙ මංගල බැලු‍වෙ විකල්පයකට වඩා ආදේශකයක්ද? ඒ නිසාද සජිත්ට උදව් කළේ?

හරියටම හරි. ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂට විරුද්ධව විකල්පයක් තිබුණෙ නෑ. අන්න එතනයි මම කියන්නෙ වැරැද්ද. හැමදාම විකල්පයක් වෙනුවට අපි ඉදිරිපත් කළේ ආදේශකයක්. අපි නිකම් හරි එකතුවෙලා මහ මැතිවරණයට ගියා නම් පොහොට්ටුවට කවදාවත් 2/3ක් ලැබෙන්නෙ නෑ.

 

ඔබ බලාපොරොත්තු වුණේ නැද්ද සජිත් උදව් කරනකොට සජිත් මෙහෙම පක්ෂෙ කඩාගෙන යයි කියලා?

මට මතකයි මහ මැතිවරණයට නාමයෝජනා දෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවෙ අපේ ගෙදර පිරිතක් කිව්වා. 2020 දී ගොඩක් අය ආවා. එදා රෑ මම උඩට එක්කන් ගිහිල්ලා සජිත්වයි රවි කරුණානායකවයි මගේ කාමරයෙ වාඩි කරලා මම කිව්වා ඔය දෙන්නා කතා කරලා විසඳගන්න අලියාද හංසයාද අපි තරග කරන්නෙ කියලා. එහෙම කියලා මං දොර වහලා ආවා. මොකද මට පිස්සුවක් වගේ ඒක. අන්තිමට දෙන්නා පල්ලෙහාට ඇවිල්ලා හිනාවෙලා කිව්වා ප්‍රශ්නෙ විසඳගත්තා කියලා. මට දැන් හිතෙනවා මේ දෙපැත්තෙම හිටියා මේ පක්ෂය දෙකට කැඩෙනකම් බලාගෙන හිටිය අය. මම ඊට පස්සෙ සජබෙන් නාමයෝජනා දුන්නා. පස්සෙ මං ඉල්ලා අස්කර ගත්තා.

 

ඔබ මේ දේශපාලනයෙන් සමුගන්නෙ සිස්ටම් අවුල නිසාද?

ඇත්තටම මේ ප්‍රශ්න නිසා සහ කොවිඩ් ලොක්ඩවුන් එකත් එක්ක මං ගෙදරට හිරවුණා. මට ඒ නිසා ගෙදරට වෙලා හොඳට හිතන්න කාලයක් හම්බවුණා. මට මේ අවුරුදු 31කටම එහෙම හිතන්න හොඳ කාලයක් හම්බවුණේ එදා. ඒ හිතලා තමයි මම තීරණය ගත්තෙ.

 

ඔබ ඔබ කියන විකල්පයත් ආදේශකයත් ජනතාව කොහොමද වෙනම හඳුනාගන්නෙ?

කවදාවත් නායකයට අහුවෙන්න එපා. ඒක විශ්වාස කරන්න එපා. පුද්ගලයා දිහා බලන්නෙ නැතුව ප්‍රතිපත්ති දිහා බලන්න. මම ඒක තමයි හැම තිස්සෙම කියන්නෙ සර් ෆේල් කියලා. කැම්පේන් එක ගියාට ඇත්තටම සර් නෙමෙයි ෆේල් සර්ගෙ මතවාදය. අන්න ඒ නිසා තමයි අපිට විකල්ප මතවාදයක් ඕනෙ. ඒක පුද්ගලයකුට දෙන්න බෑ. කණ්ඩායමකට විතරයි දෙන්න පුළුවන්.

 

2014 යහපාලන කණ්ඩායමත් ඔය විකල්ප මතධාරී කණ්ඩායමක්නෙ?

ඇත්තටම මේ වෙලාවෙ විකල්ප මතවාදයක් හැටියට ගෙනාවට අපි පුද්ගලයෙක් හැටියට පත් කළේ ආදේශකයක් විතරයි. ඒක ගෙනාපු කණ්ඩායම තනි මතයට හිටපු අය නෙමේ. තිබුණු එකම විරෝධතාව රාජපක්ෂ විරෝධය විතරයි.

 

මංගල ගැන මිනිස්සුන්ට මතවාද තියෙනවා. ඔබ සමරිසි කියලා කියනවා. ඔබ බෞද්ධ විරෝධීයි කියලා කියනවා. ඔබ විදේශ ගැති පුද්ගලයෙක් කියනවා. එහෙම නමක් හදාගෙන මංගලට පුළුවන්ද මේ මතවාදය මහපොළොවෙ පැළ කරන්න?

මට විරුද්ධව චෝදනා ගොඩක් නැත්නම් ඒක මගේ අසාර්ථකභාවය. සමරිසිභාවය මම ඡන්දය ඉල්ලන්න ආපු කාලයෙ ඉඳලම මම විවෘතව කතා කළා. ඒ වෙලාවෙ මට මාතර ප්‍රදේශයේ මිනිස්සු විරෝධය පෑවෙ නෑ. මම ඡන්දෙන් පත් කළා. ඉතින් මම හිතනවා මාතර මිනිස්සු ඒ කාලෙ ඉඳන්ම දියුණු මනසක් තිබුණු මිනිස්සු. මගේ අම්මට තාත්තට ප්‍රශ්නයක් නැත්නම් මගේ අයියට අක්කට ප්‍රශ්නයක් නැත්නම් මාතර ජනතාවට ප්‍රශ්නයක් නැත්නම් මට අනිත් කිසි කෙනෙක් කියන දේවල් අදාළ වෙන්නෙ නෑ. අනිත් එක මගේ බෞද්ධකම මාතර මිනිස්සු දන්නවා. අපේ පවුල කොතරම් බෞද්ධ පරිසරයක හැදුණද කියලා අපිත් දන්නවා.

 

අවසාන වශයෙන් ඔබෙන් අහන්නෙ ඔබ නායකයො ගොඩක් එක්ක වැඩ කරපු කෙනෙක්. මට කියන්න ඔබට හොඳම නායකයා කවුද? ඒ වගේම මට කියන්න ඔබට අනාගතයේ පේන හොඳම නායකයා කවුද කියලා?

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස කියන ජනාධිපතිවරු මම විරුද්ධ පක්ෂෙ හිටියත් මට හමුවෙලා තියෙන ඉතා හොඳ අය. මම කැමැති නෑ හොඳම නායකයා කවුද කියලා කියන්න. හැබැයි මට නම් හොඳම වෙන්නත් ඕන චන්ද්‍රිකා. මගේ මිතුරියකටත් වඩා එතුමිය උත්සාහ ගත්තා මේ ජනවාර්ගික ප්‍රශ්නයට උත්තර හොයන්න. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවංකව උත්සාහ කරපු කෙනෙක්. අනෙක ඔය අධිවේගී මාර්ග ඇයගේ සංකල්පයක්. ඔය නෙළුම්පොකුණ රඟහල එතුමියට චීනයෙන් ලබාදුන්න දේවල්. හැබැයි අනිත් අය නරකයි කියන්නෙ නෑ මම. ඇත්තටම පුද්ගලයෙක් හැටියට මහින්ද රාජපක්ෂ කියන්නෙ ඉතාම සුන්දර චරිතයක්. හැබැයි ඔහුගේ ප්‍රතිපත්ති නිසා මට ඔහුගේ වටිනාකම ටිකක් අඩු වුණා. මට අනාගතය ගැන කිව්වොත් මම පාර්ලිමේන්තුවෙ නැති වුණත් මට කියන්න තියෙන්නෙ මට පේන දේවල් එක්ක එක්කෙනෙක් කැපීපෙනෙන චරිතයක් ඉන්නවා. ඒ චානක්‍ය කියන දෙමළ මන්ත්‍රීතුමා. ඔහු භාෂා තුනම හසුරවන්න පුළුවන් දක්ෂ මන්ත්‍රීවරයෙක්. දෙවැනුව මම පිළිගන්නවා සුනිල් හඳුන්නෙත්ති හොඳ කෙනෙක්.

  • ගයාන් ගාල්ලගේ

උපුටා ගත්තේ – ලංකාදීප 26/8/2021

Social Sharing
සාකච්ඡා