ඇතැම් නගරවල වෙළඳ සංගම් ස්වෙච්ඡාවෙන් සිය නගර වසා දැමීම රජයට එල්ල කළ අභියෝගයක්!

කොරෝනා කොවීඩ් මරණ හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන සැඟවීමෙන් තොරව අනාවරණය කළ යුතුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

රෝගීන් පිළිබඳව දත්ත සඟවන තත්ත්වයක් දැකිය හැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව  මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීවේය.

නිවැරදි සංඛ්‍යාලේඛන රටට හෙළි කිරීම මගින් සෞඛ්‍ය බලධාරීන්ට, ජනතාවට පමණක් නොව රජයට පවා නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රෝගීන්ගේ මරණ සංඛ්‍යාව දෛනිකව දිගින් දිගටම ඉහළ යන තත්ත්වයක් යටතේ රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගැනීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ඒ මහතා කීවේය. ඒ නිසාම ඇතැම් නගරවල වෙළඳ සංගම් ස්වෙච්ඡාවෙන් සිය නගර වසා දැමීමට ගත් තීරණය රජයට අභියෝගයක් වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ සති කිහිපයකට රට වසා දැමිය යුතු වුවත්  ආණ්ඩුව එය කිසිසේත්ම නොසලකා හරින තත්ත්වයක පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේය.

කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අවස්ථාවක භාණ්ඩ සඳහා බදු අය කිරීමට ආණ්ඩුව පියවර ගැනීම තුළින්  ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව කී ඒ මහතා තවදුරටත් මෙසේ ද සඳහන් කළහ.‍

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු තෙල් මිල නිසැක ලෙසම අඩු කරන බවට  ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පුරසාරම් දෙඩුවා. දැන් ඔහු රජයේ මුදල් අමාත්‍යවරයායි.  ඇලඩින්ගෙ පුදුම පහන රැගෙන ජනතාව පුදුම කරමින් මහා සහන ලබා දෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයකු යැයි කී බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට මිනිසුන් තලා පෙළා බදු අය කරමින් කොවීඩ් වලින් බැට කන ජනතාවට තව දුරටත් හිරිහැර කරන බවයි පෙනෙන්නේ.

මෙවැනි බැරෑරුම් අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ  බදු  පටවමින් ජනතාව හිරිහැරයට පත් කිරීම නොව ජනතාවට සහන ලබා දීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Social Sharing
නවතම