කොවිඩ් වලින් නිවෙස් වල මිය යන අයගේ මෘත දේහ රෝහලට ගෙන ඒමට අධික මුදලක් !

කොවිඩ් 19 වෛරසයට ගොදුරුවීම නිසා නිවෙස් වල මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ප්‍රවාහනය කිරීමේදි ඥාතීන්ට දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවි තිබෙනා බව අනුරාධපුර අතිරේක නාගරික හදිසි මරණ පරික්ෂක අයිනුල් හක් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය වැලදීම නිසා අනුරාධපුර පොලිස් වසම තුළ පිහිටි නිවෙස් වල මියයන පුද්ගලයන්ගේ මෘතදේහ අනුරාධපුර ශික්ෂණ රෝහලට අවමංගල රථයකින් රැගෙන විත් බාරදීම සදහා ඇතැම් අවස්ථා වලදි ඥාතීන්ට විශාල මුදලක් වියදම් කිරීමට සිදුව තිබෙනා බවත් කොවිඩ් 19 මෘත දේහයක් ප්‍රවාහන කිරීම සදහා මල් ශාලා හිමියන් රුපියල් 25000ක පමණ මුදලක් අය කරනා බව ඒ මහතා පැවසුවේය.

පවතින වසංගත තත්වය මත නිවෙස් වල පුද්ගලයන් මිය යාම සීඝ්‍ර ලෙස වැඩිවි තිබෙනා බව පවසන අතිරේක නාගරික හදිසි මරණ පරික්ෂකවරයා ඇතැම් අවස්ථා වල තම හිතවත් කම්මත අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියට අයත් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ප්‍රවාහනය කරනා අවමංගල රථයෙන් මෘත දේහ ශික්ෂණ රෝහලට රැගෙන විත් බාරදීමට පවා කටයුතු කළ බව ඒ මහතා පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු අතිරේක නාගරික හදිසි මරණ පරික්ෂක අයිනුල් හක් මොහොමඩ් මුසම්මිල් මහතා.කොව්ඩ් වැලදිලා කෙනෙක් නිවසේ මිය ගියාම නිවෙස් හිමියන් දැඩි අපහසුතාවකට පත්වෙනවා.ඒ සමග ප්‍රවාහන මාධ්‍ය සොයන්න ගියාම තවත් අපහසුතාවට පත්වෙනවා. එක් නිවසක සිදුවුණු මරණයක් ප්‍රවාහනය කරන්න මල් ශාලාවකින් රුපියල් 25000ක මුදලක් ඉල්ලලා තිබුණා.

ජනතාව අසරණ වෙලා ඉන්නේ.ඒ නිසා මම ඕට්ටමාවඩි වලට මළ සිරුරු ප්‍රවාහනය කරන අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ ආදාහන රථය ඇතැම් අවස්ථා වලදි ඉල්ලා ගෙන මුදල් ගෙවන්න අපහසු අයට සේවය ලබාදුන්නා.

සිංහල මුස්ලිම් කියලා බේදයක් නැතුව ඒ කටයුත්ත මම කළා.ඒ නිසා මේ මෘතදේහ ප්‍රවාහනය පිළිබදව අධිකරණ අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු රජය යම් වැඩ පිළිවලක් ඇති කරොත් අසරණ ජනතාවට සිදුවන අපහසුතාව මගහැර ගන්න පුළුවන් යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම