ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව අත්හැර දමලා – වමේ හඬ

රටේ ඇති  වෙමින් තිබෙන බියකරු තත්වය තේරැම් ගනිමින් නගරවල කඩසාප්පු වසා දැමීමේ හර්තාල් ක්‍රියාවලින් ආණ්ඩුවේ නිද්‍රාශීලී වැඩපිළිවෙලට එරෙහිව ජනතාවගේ ක‍්‍රියාකාරී විරුද්ධත්වයක් ගොඩනඟන එකාබද්ධ ක්‍රියාකාරිත්වයක් වෙත යොමුවන ලෙස  “වමේහඩ”  හා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වමේ හඬ හා ශ්‍රි ලංකා සමාජවාදී පක්ෂය වෙනුවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර සිටින නීල් විජේතිලක මහතා මේ බව කියා සිටියි.

කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට ආණ්ඩුවට කිසිම හැකියාවක් නොමැති බව ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුවේ ක්‍රියා මාර්ග තුළින් පැහැදිලි වන අතර ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව ලක්ෂ තුනහාමාරකට වැඩි කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයක් දැනට හමුවී ඇති අතර මරණ සංඛ්‍යාව හයදහස ඉක්මවා ඇත.

ආණ්ඩුව ඉදිරිපත් කරන දත්ත සියල්ල නිවැරැදි නොවන බවට සෞඛ්‍ය අංශ නියෝජනය කරන වෛද්‍ය විශේෂඥයන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා අභියෝගයට ලක් කරමින් සිටින පසුබිමක  වර්ධනය  වෙමින් තිබෙන බිහිසුනු තත්ත්වය යටතේ වෛද්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝ විද්වතුන් වහාම රට ලොක් ඩවුන් කරන ලෙසත්, එන්නත් වැඩි කරන ලෙසත්, පරීක්ෂණ වැඩි කරන ලෙසත් රජයට කරන යෝජනා පිළිබඳව අවධානය යොමු කරන්නටවත් සුදානම් නැති බව මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

මෙම තත්වය තුළ ජනතාව සිය ගණනින් මියැදෙමින් සිටින බව රෝහල්වල සේවකයන්ගේ, මාධ්‍යවේදීන්ගේ හා වෛද්‍යවරුන්ගේ ඇතැම් ප‍්‍රකාශවලින් පෙනී යන බවත්  මේ වන විට ඉන්දියාව හා ඉන්දුනීසියාව පරදා යන දරුණු තත්වයක් ලංකාව තුළ නිර්මාණය වෙමින් පවතින හෙයින්  ආණ්ඩුව පිළිබඳ ජනතාවගේ විශ්වාසය භංග වී ඇතැයිද නීල් විජේතිලක මහතා පවසයි.

ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව අත්හැර දමා තිබෙන අතර මෙම තත්වය යටතේ ජනජීවිතය ආරක්ෂා කර ගැනීමේ වගකීම ජනතාවටම පැවරී ඇති බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඉතා නිවැරදිව පැහැදිලි කළ පරිදි විශාලා මහනුවරක තත්වය ශීත කාමරවල වැජඹෙන දේශපාලකයන්ට වැටහෙන්නේ නැති බවත්  ඒ නිසා ජනතාව කොරෝනාවට මුහුණදීමේ වගකීම ද තමන් අතට ගන්නට කල්පනා කරමින් සිටීම මේ ජනවිරෝධී ආණ්ඩුවට එල්ල කළ හැකි හොඳම අභියෝගයක් බව මෙම නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඇතැම් ප‍්‍රදේශවල සමාජ සංවිධාන දැනටමත් ඉදිරිපත් වෙමින් කඩ සාප්පු වසා දමමින්, සංචරනය නවතා දමමින්, ස්වයං නිරෝධායන පිළිවෙතක නිරතවීම රටපුරා පුළුල් වෙමින් තිබෙන අතර  මෙය පවත්නා ආණ්ඩුවට චෝදනා කරමින් ජනතාව විසින් ම එල්ල කරන බරපතල අභියෝගයක් බව පෙන්වා දෙන නීල් විජේතිලක මහතා වැඩිදුරටත් පවසන්නේ  රාජ්‍ය සේවකයන් හා පුද්ගලික අංශයේ සේවකයන් නොකඩවා සේවයට කැඳවීමේ ක‍්‍රියාවලිය තුළ ද වැඩකරන ජනතාවට වසංගතය බෝවීමේ අවදානම ඉහළින්ම පවතින බවය.  දුම්රිය ස්ථානාධිපතිවරු ද රජය මේ පිළිබඳව දක්වන නොසැළකිල්ලට විරෝධ්‍ය පළකරමින් සංකේත වර්ජනයක ද නිරත වු බව ඔහු සිහිපත් කර සිටියි.

ශානි

 

Social Sharing
නවතම