අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!

මේ වන විට ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය බස්නාහිර පළාතේ සංකීර්ණ වී ඇති අතර එය සෞඛ්‍ය පද්ධතියටත් අද වන විට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ.

අද කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල් පීරි ඉතිරී යද්දී  තවත් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් නිවෙස් වලට සිර වී කිසිවක් කර කියා ගත නොහැකි ත්ත්වයකට පත්ව සිටියි.

ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට කොවිඩ් ආසාදිතව නිවෙස් වල පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් සිටියි. ඒ් බව ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදීද සාකච්ඡාවට ලක් විය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ දත්ත වලට අනුව ගම්පහ එවැනි තත්ත්වයක් දක්නට නැත. මෙය ඉතාම භයානක කරුණකි. මේ වසන් කරන්නේ සමාජයේ කොවිඩ් ආසාදිතයින් අඩු බවද?

විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට කිසිදු සෞඛ්‍ය බලධාරියෙකුගේ අවධානයට ලක් නොවුනු එහෙත් කොවිඩ් ආසාදිත පවුල් මෙන්ම පුද්ගලයින් සිටියි. මෙය සෞඛ්‍ය අංශයේ අදාල බලධාරීන් පිලිගත යුතු කරුණකි.

ලියුම්කරුගේ ඥාති සොහොයුරෙකු කොවිඩ් ලක්ෂණ පෙන්නුම් කරන්නට වුයේ පහුගිය 04 දාය. ඔහු ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ලබාගෙන ඇති අතර වෛද්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ උණ දින 2-3 කින් බැස ගියේ නැතිනම් රැජිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් කරන ලෙසටය.  බෙහෙත් බීවද රෝග ලක්ෂණ අඩු නොවු අතර ඔහුගේ බිරිඳටද එකී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට විය.

රැපිඩ් ඇන්ටිජන්

පසුව ඔහු ඉකුත් 07 දා රැජිඩ් ඇන්ටිජන් පරික්ෂනයක් සිදු කිරිමට වතුපිටිවල පුද්ගලික රෝහලක් වෙත ගොස් ඇත. එහිදි පවසා ඇත්තේ අදාල පරික්ෂණ කට්ටල අවසන් වී ඇති බවය.  ඒ් අනුව ඔහු  ගම්පහ රෝහලට පැමිණ රැජිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් කිරිමට විමසා ඇත. එහිදි රෝහලෙන් පවසා ඇත්තේ රැපිඩ් නොකරන බවත් අවශ්‍ය නම් පි.සි.ආර් පරික්ෂණයක් කිරිමට හැකි බවය. නමුත් එහි ප්‍රතිඵල ලැබීමට කල් ගතවෙන බැවින් ඔහු ගම්පහ පුද්ගලික රෝහලක් වෙත ගොස් මේ පරික්ෂණය කිරිමට විමසා සිටියේය. එකී රෝහලෙන් පැවසුයේ වෛද්‍යවරයෙකුගේ ලිඛිත සටහනක් නොමැතිව පරික්ෂාව කළ නොහැකි බවය. සියලු බලාපොරොත්තු සුන් වු ඔහු යළි නිවසට යන විට සිය 09 හැවිරිදි දැරියද අසනීප වී සිටියාය.  පසුදා උදෑසනම ඔහු නිට්ටඹුවේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සිදු කර ගත් අතර එය නෙගටිව් විය.

නමුත් සොහායුරාගේ රෝග ලක්ෂණ හා නිවසේ අනෙක් සාමාජිකයින්ද රෝගාතුර වීම නිසා ඔහුට මේ ප්‍රතිඵලය ගැන පැවතියේ සැකයකි. එදිනම ඔහුගේ මවද අනෙක් කුඩා පුතුද අසනීප වී තිබිම මොහුව තවත් ව්‍යාකූල තත්ත්වයට පත් කරවන්නක් විය. ඒ නිසා එදිනම සවස යළි බෙහෙත් ගත් වෛද්‍යවරයා හමුව මේ බව පැවසු අතර එහිදි වෛද්‍යවරයා පවසා ඇත්තේ පසුදා (09) ගම්පහ රෝහලට පැමිණෙන ලෙසත් එහිදි යළි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් කරමු යන්නය. ඒ් අනුව ඔහු පසුදා ගම්පහ රෝහල වෙත ගොස් රැපිඩ් පරික්ෂනයකට යොමු වි ඇත. එහිදි හෙළි වී ඇත්තේ ඔහු කොවිඩ් ආසාදිත බවය. ඒ් අනුව නිවසේ සියලු දෙනාම කොවිඩ් ආසාදිත වි ඇති බව තහවුරු විය.

PHI නිහඬයි

ලියුම්කරුගේ සොහොයුරා මේ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම් දීමට ගිය 09 දා සිට ඊයේ (11) වනතුරු දුරකථන ඇමතුම් ලබා ගත්තද, කෙටි පණිවිඩ තැබුවද ඒ් කිසිවෙකටත් මේ වනතුරු ප්‍රතිචාර ලැබී නැත.

ආණ්ඩුවේ බඩු මල්ල

පසුව ග්‍රාමසේවකට මේ බව කියු විට ඔහු පවසා ඇත්තේ ඔවුන්ට කිරිමට දෙයක් නොමැති බවත් ලබා දෙන වියළි සලාක මල්ල පමණක් ලබා දීමට ක්‍රියා කළ හැකි බවය. ඒ් අනුව ඔහු මොවුන්ගේ නම් වියළි සලාක ලැබීමට නිර්දේශ කර යවා ඇති බවත් අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 5000 ක් පමණ තව මෙලෙස බඩු මලු ලැබීමට නියමිත අතර ඔවුන්ට බෙදා දිමෙන් පසුව මොවුන්ට ලැබෙනු ඇති බව අද දින ප්‍රකාශ කර ඇත. ඒ් අනුව ඇතැම් විට මේ වියළි සලාක ලැබෙන විට ඔවුන්ට කොරෝනාව හොඳ වී තිබිමටද පුලුවන.

අද වනතුරු මේ නිවස කොරෝනා ආසාදිත නිවසක් බව තහවුරු කෙරෙන දැන්වීමක් පවා නැත. එසේම මේ දරුවන්ට ඇති වන විවිධ අපහසුතා නිසා ඔවුන් කොවිඩ් සම්බන්ධ ගැටලු පිලිබඳ රජය විසින් හඳුන්වා දි ඇති කෙටි දුරකථන අංක කිහිපයකටම ඇමතුම් ලබා ගෙන ඇති අතර ඉන් කියවි ඇත්තේ ලියාපදිංචි වි නොමැති නිසා සේවාව ලබා ගැනීමට නොහැකි බවය.

මේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් නිවසක තත්ත්වය පමණි. මේ අතර ජා ඇල ප්‍රදේශයේ නිවසකද ලියුම්කරුගේ මිතුරෙකු කොවිඩ් ආසාදිත ව සිටින අතර අද වනතුරු ඔහුව අධික්ෂණය කිරිමට කිසිදු රජයේ සෞඛ්‍ය බලධාරියෙකු පැමිණ නැත.

මේ වන විට බොහෝ ප්‍රදේශ වල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දැන් දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයකට පත්ව ඇත. පුද්ගලික රෝහල් වල මෙන්ම රජයේ රෝහල් වලද දුරකථන ඇමතුම් ලබා ගැනීමේ අපහසුතාවයක් මතුව ඇත.

ගම්පහ දිස්ත්‍රික් රෝහලේද ඊයේ (11) දින වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක් මිය ගියේ රෝහලට ගෙනවිත් පැය කිහිපයකට පසුවය. ඒ් කාන්තාව රෝහලට ගෙනවිත් තිබුණේ හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් වන අතර ඇයට ඔක්සිජන් ලබා දිමට ඒ් අවස්ථාවේ රෝහල් බලධාරීන්ට නොහැකි වීම නිසා ඇය මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර තිබුණි.

එමෙන්ම ගම්පහ රෝහලේ කොවිඩ් ආසාදිතව මිය යන මෘත ශරිර මේ වන විට මිනුවන්ගොඩ ආදාහනාගාර වලටද ගෙන යන ත්ත්වයකට පත්ව ඇත. ඒ් කසගහවත්ත අදාහනාගාරයේ පවතින තදබදය නිසාය.

මේ අතර කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සේවක කරන තවත් ඥාති සොහොයුරෙකු කොවිඩ් ආසාදිත වු අතර ඔහුව නම් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මැදිහත්ව මේ වන විට පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇත. කොළඹට කිරි, ගමට කැකිරි යැයි කියමන සිහිවන්නේ මෙවන් අවස්ථා වලය.

මැතිවරණ වලදි පොර කකා , අහිංසක ජනතාවගේ ඡන්දය කොල්ල කෑ කිසිදු දේශපාලඥයෙකු  අද ගම්පහ මේ තත්ත්වය දකින්නේ නැත. යන්තමට හෝ වැඩක් කරනවා දකින්නට ඇත්තේ ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පමණි.

ශානි

 

 

 

Social Sharing
නවතම විශේෂාංග