පාස්කු ප්‍රහාරයේ සිටි සැකකරුවෙකු නිදහස් කිරීමට සජබ විරෝධය පායි!

නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් ත්‍රස්ත මර්දන නීති යොදාගෙන සිරගත කොට සිටි පුද්ගලයන් නිදහස් කර යැවීම ගැන විපක්ෂය විරෝධය පල කර තිබේ.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට අවුරුදු දෙකකට වැඩි කලක් තිස්සේ රඳවාගෙන සිටි අයකු අධිකරණය මගින් නිදහස් කර යැවීම හෙලා දකින බවයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බවට සැක කෙරෙන අහමඩ් අලව්දීන්ගේ පියා වන අලව්දීන් අහමඩ් මුආත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල පසුගිය 6 වැනිදා නිදහස් කර යවන ලදී.

අලව්දීන් නිදහස් කිරීමට තීන්දු කරන ලද්දේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නැති හෙයින් තව දුරටත් නීති මගින් කටයුතු නොකරන බව නීතිපති විසින් දැනුම් දීමෙන් අනතුරුවයි.

සමගි ජන බලවේගයේ සහකාර ලේකම් ධුරය හොබවන  දොස්තර කාවින්ද ජයවර්ධන පවසා ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් වර්තමාන රජය විසින් ක්‍රම ක්‍රමයෙන් නිදහස් කරමින් සිටින බවයි.

“2019 අප්‍රේල් 21 දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සියලුම සේවකයන් මීට කලින් අවස්ථාවක නිදහස් කර තිබෙනවා,” යයි සජබ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා සති අන්ත මෝනිං පුවත්පතට පවසා තිබේ.

වසර එකහමාරකට වැඩි කාලයක් රඳවාගෙන සිටි  එම සැකකරුවන් දහදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය විසින් නිදහස් කර යවන ලද්දේ ඔවුන්ට එරෙහිව තව දුරටත් නීති මගින් කටයුතු නොකරන බවට නීතිපති දෙපාර්තමේන්තුව දුන් උපදෙස් අනුව යමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් පරිදිය.

දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් 2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.

ඒ සම්බන්ධයෙන් සැකපිට ලාංකිකයන් තිදෙනකුට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය චෝදනා ගොනු කොට ඇතත්, ත්‍රස්ත නීති යොදාගෙන ශ්‍රී ලංකාවේ සිරකොටගෙන ඉන්නා සිය ගණනකගෙන් කිසිවකුටත් අදත් නඩු පවරා නැත.

Social Sharing
නවතම