ලාංකිකයෝ චීනයේ මැදිහත්වීම ආක්‍රමණයක් විදිහට දකින්නේ නෑ – භූපති නලින් (දේශපාලන විචාරක)

ලාංකිකයෝ චීනයේ මැදිහත්වීම ආක්‍රමණයක් විදිහට දකින්නේ නෑ - භූපති නලින් (දේශපාලන විචාරක)

මහ මැතිවරණයෙන් පස්සේ ලංකාවේ දේශපාලන තත්ත්වය සෑහෙන අලුත්. සමාජ මාධ්‍ය වල බලද්දි ජනතාවගේ ප්‍රතිචාර කියවන්න දකින්න ලැබෙනවා. මම හිතන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳව අදහස් දක්වන ගොඩක් අය උනන්දුයි අනාවැකි කියන්න. ලංකාවේ දේශපාලනය අනාවැකිවාදයක් දක්වා ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක් නොවෙයි. එම අනාවැකි ඉතාම ඉක්මනින් බොරු බවට පත් වෙන රටක් බවට දැන් ලංකාව පත් වෙලා තියෙනවා. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය  මහත්තයගේ කඳවුරේ උදවියවත් හිතුවෙ නැහැ ලක්ෂ 14ක ජයග්‍රහණයක් ලැබෙයි කියලා. පූර්ව කල්පනය කළ නොහැකි බිමක් බවට, ලංකාවේ මහා සමාජයේ දේශපාලන භූමිය පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය එක්ක පශ්චාත් මැතිවරණ දේශපාලනය අපි කොහොමද කියවන්නේ කියන එකට යම්කිසි ප්‍රවේශයක් ගනිමු.

බෞද්ධ ජාතිකවාදී දේශපාලනය

මගේ මුලිකම නිරීක්ෂනය තමයි, මම හිතනවා ලංකාවේ පශ්චාත් යටත්විජිත දේශපාලන පක්ෂ කියන එක සම්පූර්ණයෙන්ම ඉවර වුණා( නිල වශයෙන්ම) මේ 2020 මහමැතිවරණයත් එක්ක. විශේෂයෙන් අපි දන්නවා සාම්ප්‍රදායික වම කියන එක හැත්තෑ ගණන් වනවිට ඉවර වෙලා යම්කිසි විදිහක පරිසමාප්තියකට ආවා. ඉන්පසු මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිසමාප්තියකට ඇරියා. එක්සත් ජාතික පක්ෂය ඉතාම නරක තත්ත්වයකට මේ මැතිවරණයේදී ගිහින් තියෙනවා. මේ තුළින් අපිට පේන්න තියෙන දෙයක් තමයි නව දේශපාලනයක් කරා ලංකාවේ සාම්ප්‍රදායිත පක්ෂ දේශපාලනය ගමන් කරමින් ඉන්නවා කියන කාරණය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රවේශයත් එක්ක මෙහි ඉතාම සංකීර්ණ, සියුම් වෙනස්කම් බොහෝ දෙනෙක් නිරීක්ෂණය කරලා ඇති. රාජපක්ෂ රෙජීමය පවා යම්කිසි විදිහක පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් ගත්තොත් වාමාංශික දේශපාලනය කියලා මොනවා හරි දෙයක් ඉතිරි වෙලා තියෙනවද කියන එකත් සාකච්ඡා කරන්න පුළුවන්.

අපි හැමෝම දන්නා පරිදි බොහෝ දෙනෙක් මේ දවස් වල අදහස් දක්වන පරිදි සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනය, එහි කූටප්‍රාප්තිය කරා ඇවිල්ලා තියෙනවා. සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයත් එක්ක බැදිලා තියෙනවා දේශපාලන ආර්ථික සංවර්ධනය කියන අදහස. මේ දෙකේ මොඩිල් එක ගෝඨාභය  රාජපක්ෂගෙන් ආවා කියලා මම හිතනවා. එක පැත්තකින් සිංහල බෞද්ධ සාරාර්ථයක්, සිංහල බෞද්ධ ජාතික රාජ්‍ය කියන සීමාව අභිබවා ගිහිල්ලා Orientalism පෙරදිගවාදයක් කරා ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට ලාංකිකයෝ දකින්නේ ඇමෙරිකාව හෝ බටහිර ඒවා ආක්‍රමණයක් විදිහටත්, චීනයේ මැදිහත් වීම ආක්‍රමණයක් නොවන විදිහටත්. චීන්නු ආසියාවේ එවුන්, ඉන්දීය වුණත් පොඩි පොඩි දේවල් තිබුණට කමක් නෑ වගේ. ඒක දේශපාලනයේ පෙරදිගවාදයක් කියලා කියන්න පුලුවන්.

ලංකාවේ ජාතික වාදයත් එක්ක බැදිච්ච සංවර්ධනයක් කිව්වම අපි හැමදාම දැක්කේ ගොඩනැගිලි. ගොඩනැගිලි තමයි අපිට සංවර්ධනය විදිහට පෙන්නුවේ.  චීනයේ භූ දේශපාලන සැලැස්මත් එක්ක, උදාහරණයක් විදිහට කොළඹ නගරය ගත්තොත් ලංකාවේ මේ වෙලාවේ කූටප්‍රාප්තියකට පැමිණිලා තියෙන ජාතිකවාදී දේශපාලන සංඥා එක්ක, එහි කිසිම අන්තර් සම්බන්ධයක් නෑ. තනිකරම සිංගප්පූරුවක් වගේ බටහිරකරණය වෙලා බුදුපිළිම එන්න එන්නම පුංචි වෙලා  බිල්ඩින් විශාල වෙලා. කිසිම සම්බන්ධයක් නැහැ සිංහල බෞද්ධ ජාතිකවාදයත් එක්ක කොළඹ නගරයේ දේශපාලන ආර්ථිකය.

ඒ වගේමයි කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය, මුළු කොළඹ නගරයම ලංකාවට අයිති නැති භූමියක් බවට පත් වෙමින් යන්නේ. වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳව  විශාල ආන්දෝලනයක් සිදු වුණා. අපි පැය විසිහතරම ජීවිතේ ගෙවන්නේ ළමය කන බොන එක, බිත්ති හතරක් හදලා රෝද හතරක් ගන්න එක, ළමයට උගන්වන එක හිතමින් මිසක්, සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන හිතමින් නෙවෙයි. මේක තමයි අපිට දැනෙන ඇත්ත ආර්ථික ජීවිතයයි දෘෂ්ඨිවාදී ජීවිතයයි අතර පවතින වෙනස. අපි මනසින් මවා ගන්න මොකක්දෝ ලාංකිකත්වයක්, මොකක්දෝ සිංහල බෞද්ධකමක් කොහොමද පාස්සන්නේ කියන තැන තමයි මගේ යෝජනාවේ පදනම තියෙන්නේ.

ජවිපෙයි පොහොට්ටුවයි අතර කිසිම මතවාදී වෙනසක් නෑ

දැන් වෙන කොට ඇවිල්ලා තියෙන්නේ මහත්වරුන්ගේ ජාතිකවාදයක්. වියත්මත ගත්තොත් ඒගොල්ලෝ ටයිකෝට් අදින මහත්වරු. ජාතික ඇදුම අදලා දේශපාලනය කරන අය නෙවෙයි. එක්දහස්නවසිය හැට ගණන් වල ජපානයේත් ඊට පසුව සිංගප්පූරුවේ වගේ රටවලත් මේක ආවා. මෙය දේශපාලනිකව අලුත් ව්‍යුහයක් නෙවෙයි. ලංකාවේ මේක අලුත් දශකයක ආරම්භයේදී ආවේ. මෙකෙන් එවන අලුත් දේශපාලන සටන්පාඨය තමයි ජාතිකවාදය. ආර්ථිකය ජාතිකවාදී කිරීම සහ හොරු අල්ලන එකේ ඉදල යම් පිළිවෙලක්, මහත්වරුන්ගේ දේශපාලනයක් කියන එක තමයි යෝජනා කරන්නේ. මට තියන ගැටලුව තමයි මෙන්න මේ සටන් පාඨ ටික තමයි ජාතික ජන බලවේගය අරන් තියෙන්නෙත්. ජාතික ජන බලවේගයයි පොහොට්ටුවයි අතර මතවාදීව වෙනසක් නැහැ. අපේ අනුර කුමාර මැතිදුන් කියන එක තමයි ලංකාවේ ජාතික ආර්ථිකයක් ගොඩනගන්න ඕන කියන එක. බැසිල් රාජපක්ෂ අනුරට වඩා හොදට කියනවා මේක.  ඊට පසුව කියනවා ලංකාවේ  හොරකම් මැරකම් නැති කරලා දූෂණ වංචා නැති රටක්  කියලා වසන්ත සමරසිංහලා, නලින්ද ජයතිස්සලා ෆයිල් උස්සන් එහෙ මෙහෙ දිව්වනේ. නමුත් මේ ව්‍යාපෘතිය කවුද ජයගත්තේ. මේකට තමයි ඝෝටාභය රාජපක්ෂට ලක්ෂ 68 ක් ඡන්දය දුන්නේ.  පෙරටුගාමී සමාජවාදී පිළ ගත්තත් දේශපාලනික කියවීමක් නැහැ මේ සමස්ථ දේශපාලන ආර්ථික ව්‍යාපෘතිය පිළිබඳව. උද්ඝෝෂණ, සටන් පාඨ, මාධ්‍ය සාකච්ඡා මූලික දේශපාලනයක් තමයි ඔවුන්ට තියෙන්නේ. බැසිල් රාජපක්ෂ, මංගල සමරවීර තරම්වත්, රට දේශපාලනිකව සංවිධානය කරනවා කියන තැනට වම ඇවිල්ලා නැහැ. දැනට අපිට පේන්න නැහැ පොහොට්ටු දේශපාලනයට අභියෝග කරන්න පුළුවන්තැනක්. අපි නොදන්නා දෙයක් සිද්ධ වෙන්න පුළුවන්.  සිංහල බෞද්ධ ඒකමිතියක් තිබ්බ එක දැන් කෑලි කෑලි වලට කැඩිලා යනවා. අපිට හොදම උදාහරණය කමයි ඥාණසාර හාමුදුරෙුවෝ, ලංකාවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක්. සති දෙකයි හාමුදුරුවන්ගේ සංකේතීය වටිනාකම ඉවර වෙලා යන්න ගියේ. සිංහල බෞද්ධකම මාර්කට් කරන්න පුළුවන් අවසන් අවස්ථාවට අපි ඇවිල්ලා තියෙනවා. මින්පසුව අපි ඇතුළු වෙනවා ගෝලීය ප්‍රාග්ධනයත් එක්ක බැදිච්ච ඉතාම සංකීර්ණ බල අරගලයකට.

චීන, ඇමරිකා, ඉන්දියා බල දේශපාලනය සහ ලංකාව

ලංකාව පිළිබඳව තියෙන භූ දේශපාලනික සැලසුම් ගත්තහම මෑතකාලීනව ඉන්දියාව සහ චීනය අතර ඇති අරගලය ඉතාම වැදගත්. එය මෑත දශක දෙක තුනක් තුළ ක්‍රමිකව වර්ධනය වුණු තත්ත්වයක්. ලංකාවේ දේශපාලන ආර්ථිකය ගත්තහම ‍දේශිය ආර්ථිකයට තියෙන්නේ සේවා ආර්ථිකයක් විතරයි. සැලකියයුතු නිෂ්පාදන ආර්ථිකයක් ලංකාවේ නැහැ. මේ තත්ත්වය තියෙද්දී ලංකාව වගේ රටකට ගෝඨාභය  රාජපක්ෂ නෙවෙයි සුපර්මෑන් ආවත් මෙය වෙනස් කරනවා කියන එක සංකීර්ණ ප්‍රපංචයක්. මේ තත්ත්වයේදී ලංකාව භූ දේශපාලනික ගොදුරක් කියන එක නවත්වන්න බෑ. මේ සඳහා ජාතික මට්ටමේ දේශපාලන මිෂන් එකක් තියෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. දැන් ප්‍රධාන ධාරාවේ දේශපාලන ව්‍යාපාරය මෙච්චර කල් කරපු ජාතික කොමිස් ආර්ථික දේශපාලනය, දැන් ජාත්‍යන්තර බවට පත් වෙනවා. එතකොට ඔය ටයිකෝට් දා ගත්තු මහත්තුරු තමයි හොරකම් කරන්නේ. කොළඹ වරාය නගරයත් එක්ක බැදිච්ච විශාල කොමිස් ආර්ථිකයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දක්වා ඉඩම් වල අයිතිය කාටද තියෙන්නේ. ඉතාම සුප්‍රකට ව්‍යාපාරිකයෙකුට තමයි 70% ක පමණ අයිතිය තියෙන්නේ. ඒ ඉඩම් වල බිල්ඩින් වල තවමත් වැඩ කරගෙන යන්න ඉඩ හරිනවා. ඒක අනාගත ආයෝජනයක්. ලංකාවේ සුද්දෝ හදපු කොළඹ නගර සැලසුම, ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත වෙමින් යනවා. පළමුවෙනි වතාවට ගෝලීය ප්‍රාග්ධනයත් එක්ක බැදිච්ච, ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා මත කොළඹ නගරයම ප්‍රතිව්‍යුහගත වෙමින් යනවා. එතකොට ඒක වරාය කේන්ද්‍රිය වෙළඳ  නගරයක් බවට පත් වෙන්නේ නෑ තවදුරටත්. මුළු ලංකා ඉතිහාසයේම කොළඹ නගරය තිබුණේ වරාය කේන්ද්‍රීය වෙළඳ  නගරයක් විදිහට. කොළඹ නගරයෙන් තමයි මුළු ලංකාවම සංවිධානය වුණේ.

සෘජු ගෝලීය ප්‍රාග්ධන සම්බන්ධය තමයි මේ චීන ව්‍යාපෘති. දකුනු ආසියානු ව්‍යාපෘතියේදී ලංකාවේ කොළඹ නගරය ඒ හා සම්බන්ධ කේන්ද්‍රයක් බවට පත් කර ගෙන තියෙනවා. මේකට අත දාන්න කාටවත් බැහැ කියන එකයි මගේ අදහස. ඒ තුළින් ලංකාවේ මෙතුවක් රැකිලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, සමානාත්මතා අදහස් හා ඕනෑම නූතන ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ඉතාම බරපතල විදිහට අභියෝගයට ලක් වෙමින්, චීන අධිකාරිත්වය නව ආකාරයකට දේශපාලනයක් අභ්‍යාස කරන්න ලංකාවට උගන්වන්න නියමිතයි. ඒක බැලූ බැල්මට මතුපිටින් පුපුරා යන එකක් නොවුණත් ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. උදාහරණයක් විදිහට චීනයේ කලාව, ජනමාධ්‍ය, සිනමාකරුවන්, සමාජ ක්‍රියාකාරීන්, බුද්ධිමතුන් ගත්තම හැමකෙනෙක්ම රටින් පිටව යන්න බලාගෙන තමයි විරෝධාකල්ප මතු කරන්නේ. අපිට පරිකල්පනය කළ නොහැති අලුත්ම ආකාරයකට තමයි මෙය සිදු වෙන්නේ. ඉතිං මේ අධිකාරිවාදී ක්‍රමය මෙම භූ දේශපාලනික රාමුව අස්සේ ලංකාව තුළත් ක්‍රියාත්මක වෙන්න පුලුවන්.

 

අයිතිය වෙබ් අඩවිය දේශපාලන විචාරක බූපති නලීන් වික්‍රමගේ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ආශ්‍රයෙන් මෙම ලිපිය සම්පාදිතය.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment