තිත්ත ජීවිතයේ මිහිර කියා දුන් ආදරණීය ගංගා, ඔබට සුබ ගමන්…

තිත්ත ජීවිතයේ මිහිර කියා දුන් ආදරණීය ගංගා, ඔබට සුබ ගමන්

මෙරට සිටින මහාචාර්යවරුන් අතරින් වටිනාම චරිතයක් ඊයේ (11) දින අපෙන් සමුගෙන ගියේය. ඒ මහරගම අපේක්ෂා රෝහලේදීය.

ධම්මික ගංගනාත් දිසානායක කියනවාට වඩා බොහෝ අය ඔහුව දන්නේ පැණි වළලු ලෙසිනි. ඒ ලංකාදීප පුවත්පතට ඔහු නොකඩවාම පැණි වළලු නම් තීරු ලිපියක් ලියන්නට වු නිසාය. එය මිනිසුන්ගේ හදවතට කථා කරන, සංවේදී, සමීප බව නිසාමදෝ පැණි වළලු වලට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුවෙකු වු මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා 1982 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජපන් භාෂා අධ්‍යයනය පිලිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලැබුවේය. 1990 දී ජපානයේ සුකුබා විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කර වසර 1993 දී ජපානයේ ටෝකායි විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා ලෙස එවකට ගෞරවාදරයට පාත්‍ර විය.

ඉන් අනතුරුව ජපානයේ මෙන්ම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ රාජ්‍ය ආයතන කිහිපයක බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ධම්මික ගංගනාත් මහතා 1993, 2002, 2003 දී එවකට සිටි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය උපදේශකවරයා ලෙසද සේවය කළේය. 2013 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස ද ඔහු සේවය කළේය.

ජනමාධ්‍ය අධ්‍යයනය සඳහා ඔහු විසින් කරන ලද සේවාව වෙනුවෙන් 1999 දී ජපානයේ හිදෝයෝෂි මිමිසු සම්මානයෙන් පවා පිදුම් ලැබීමට හෙතෙම වාසනාවන්ත විය.

එසේම 1998, 1990 සහ 1989 වසර වලදි ජපානයේ හකුඕ විශ්වවිද්‍යාලයෙන් ගෞරව සම්මාන ලද ඔහු 1993 ජපානයේ ටෝකයි විශ්වවිද්‍යාලයේ මත්ෂුමායි සංස්කෘතික සම්මානයෙන් පිදුම් ලබා ඇති අයෙකි.

ස්වාධීන රූපවාහීනි ජාලයේ සභාපතිවරයා ලෙසත්, ශ්‍රි ලංකා රූපවාහීනි සංස්ථාවේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත්, ලංකා පුවත් ප්‍රවෘත්ති ඒජන්සියේ සභාපතිවරයා ලෙසත් මහාචාර්ය ධම්මික ගංගනාත් මහතා කටයුතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානියාව සිටියදි ඔහුගෙන් අධ්‍යාපනය ලැබීමට  ලියුම්කරුට අවස්ථාව උදා විය. ඔහු කෙදිනකවත් සිසුවෙකුට සැර පරුෂ ලෙස කථා කළ පුද්ගලයෙකු නොවු අතර මහාචාර්ය පට්ටමින් හිස උදුම්මවා නොගත් සරල, නිරහංකාර චරිතයකි. ඒ නිසාම ඔහුට බොහෝ සරසවි සිසු සිසුවියන් ආමන්ත්‍රණය කරන්නට වුයේ අපේ ගංගනාත් සර් .. ලෙසනි.

ඔහුගේ පන්ති වේලාවේදි දිනක් මගේ මිතුරියකට මගේ මිතුරෙකු විසින් ඔයා මට කැමතිද? කියා අසා කුඩා කොල කැබැල්ලක් අතින් අත මාරු කර යවන්නට විය. නමුත් අවසානයේ එය ඉදිරියටම ගොස් සර්ගේ අතට පත් විය. ඔහු සිතුවේ ගැටලුවක් විමසා එවා ඇති බවය. නමුත් කොල කැබැල්ල දුටු විට ඔහුට සිනහව නවතාගත නොහැකි විය. මම මහජන සම්බන්ධතා උගන්වන අතරේ මේක ඇතුලෙත් හොඳ හොඳ සම්බන්ධතා ඇති වෙනවා වගේ කියු ඔහු එය පන්තියටම ඇසෙන්නට පැවසුවේය.

ඔහු අප සමඟ කෙතරම් සමීප වුවාද කිවහොත් මගේ මිතුරාගේ විවාහයේ සාක්ෂියට අත්සන් තැබුවේද ඔහුය.

ඔහුගේ මේ නික්ම යාම අපට දරා ගත නොහැක්කේ එතරම් බැඳිමක් ඇති නිසාය.

ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා වු ද හෙතෙම සකුරා රට හා ඇත්තේ ලංකාව හා සමානම බැඳීමකි. 62 වියේ පසු වු ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වු අතර පහුගිය කාලයේ මෙරටට පැමිණි පසු ඔහු අසනීප වන්නට පටන් ගෙන ඇත. නමුත් ඔහු වටා සිටි කිසිවෙකුත් ඔහු මෙතරම් ඉක්මනින් මෙලොව හැර දා යනු ඇතැයි සිතුවේ නැත. නමුත් පැණි වළලු ජිවිතයේ තිත්ත වගේම මිහිර කියා දී නික්ම ගොස්ය.

සටහන නිමා කරන්නට මත්නේ මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානයකයන්ගේ වදන් පෙළක් මා ඔබට සිහිපත් කරමි.

අපිට තියෙන්නේ ටික කාලයයි

ඒ ටික කාලේ හෙමින් යන්න ඕනේ

හෙමින් ගියොත් පරක්කු වෙන බව ඇත්ත

ඒත්..

හයියෙන් ගිහින් වැරදුනොත්

මුල ඉඳන්ම පටන් ගන්න ඕනේ

එතකොට කාලය ඉවරයි

තීරණය පරිස්සමින් ගන්න…

සහෘදයානෙනි, ඔබට නිවන් සුව

 

සටහන – ශානිකා

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment