නොකළ වරදකට නාරාහෙන්පිට පොලීසිය තරුණයෙකුට එල්ලා පහර දෙයි!

ඔහු නමින් තුසිත ප්‍රියන්ය. සේවය කරන්නේ නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ නිර්වින්දන තාක්ෂණ ශිල්පියෙක් ලෙසටය.

2021-03-10 වෙනි දින දින 06 ක නිවාඩුවක් ඔහු ලබා ගන්නේ ඥාතී සහෝදරියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට යාම සඳහාය.  ඔහු නිවාඩු ගිය පසු 12 වෙනි දින ඔහුගේ ප්‍රධාන හෙද නිලධාරිනිය කථා කර පවසා ඇත්තේ 13 උදෑසන නාරාහේන්පිට පොලිසියට පැමිණෙන ලෙසටය.  එය තුසිතට අමුත්තක් නොවුනේය. මන්ද ඔහු සේවය කළ අංශයේ උපකරණයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් තුසිත නිවාඩු එනවිටත් විමර්ශන පවත්වමින් සිටි බැවිනි.

තුසිත එයට කට උත්තර ලබා දීම සඳහා 13 දා නාරාහේන්පිට පොලීසිය වෙත ගොස් විමසීම් අංශයෙන් ඔහු පැමිණි කාරණය විමසු විට ඒ අවස්ථාවේ ඒ අසල සිටි පොලිස් සැරයන්වරයෙකු ඔයා තුසිතද? කියා විමසා තවකෙකුට දුරකථන ඇමතුමක් ලබා දී ගෙන්වාගෙන ඔහුට භාර දී ඇත. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි එම පුද්ගලයා තුසිතව  ඉහළ මාලයේ කෙළවර කාමරයකට ගෙන ගොස් මාංචු දමා ඇත.

පසුව බිම වාඩි කරවා පොලිස් නිලධාරියා ඔහුගේ දුරකථනය ගෙන පරික්ෂා කර බලා මොනිටරය කොහේදැයි කියා  දිගින් දිගටම විමසා ඇති අතර එම අවස්ථාවේදී පහළ සිටි පොලිස් සැරයන් සතරසිංහ ද පැමිණ තර්ජනය කර ඇත්තේ පහර දී රේල් පාරට ගෙන ගොස් දමන බවටය.

එහිදී තමන් මොනිටරය ගැන නොදන්නා බව පැවසීමත් සමඟ පොලිස් නිලධාරීන් එක් වී තුසිතව උඩ එල්ලා පහර දීමට පටන් ගෙන ඇත්තේ නැති වූ මොනිටරය කොහේදැයි විමසමිනි. පසුව අපරාධ අංශයේ ස්ථානාධිපති වීරසිංහ නම් තරු තුනක් සහිත නිලධාරියෙකුද පැමිණ ඇති අතර එවිට සෙසු නිලධාරීන් ඔහුගෙන් අසා ඇත්තේ සර් හතරේ පාරක්ද? හයේ පාරක්ද? දෙන්න ඕනේ කියා සිනාසෙමින් පහර දුන් බව තුසිත කියා සිටියි.

තුසිතව සැක කිරීමට පොලීසියට ප්‍රධාන ලෙස හේතු වී ඇත්තේ ඔවුන් අදලා උපකරණය නැති වූ බව සැක කරන 27 දා මොහු රාජකාරි කිරීමත්, ඔහුගේ ගමන් බෑගය ලොකු එකක් වීමත්ය. එමෙන්ම කා සමඟවත් වැඩි කථාවක් නැතිකමද පොලීසිය ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.

පසුව ලංකා හොස්පිටල් වෑන් රථයකින්ම තුසිතවත් රැගෙන පොලිස් නිලධාරීන් තුසිතගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන නැවත පොලීසියට පැමිණ තුසිතගෙන් කට උත්තරයක් ලබා ගෙන ඇත. ඔහු පවසන අන්දමට ඔහු පොලීසියට ගොස් ඇත්තේ උදෑසන 6.30 ටය. නමුත් කට උත්තරය ලියාගෙන ඇත්තේ රාත්‍රී 7.00 ටය.  පසුව ඔහුව නිදහස් කර ඇත.

තමන්ට වූ මේ අසාධාරණය සම්බන්ධයෙන් මේ වන විට තුසිත පොලිස්පතිවරයාට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පැවසේ.

www.youjudge.lk ඇසුරෙනි.

Social Sharing
නවතම