වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය ගංජා ශාකය ද?

විෂ, අබිං හා අන්තරායක ඖෂධ ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ  ගංජා වගා කිරීම හා භාවිතය තහනම් කර ඇත. මෙය අන්තරයක ඖෂධයක් ලෙස ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් මගින් ද වර්ගීකරණය කර ඇත. (The Single Convention on Narcotic Drugs of 1961 සහ  the United Nations Convention Against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances of 1988).

නමුත් කංසා මෙරට නීති ගත කිරීම කෙරෙහි මේ වන විට විවිධ අදහස් පළ වෙමින් ඇත. සමාජ ආන්දෝලනයට තුඩු දෙමින් පහුගිය වසරේ අගෝස්තු මාසයේදි පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ද කංසා වගාව නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

කංසා කරළියට

ඒ දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සිය අමාත්‍යාංශයේ වැඩ බාරගත් අවස්ථාවයි. රජයේ ඉහළ නිලතල දරන්නන් මෙන්ම නිලධාරීන් රැසක් ද මෙහි පැමිණ සිටියහ. බෙංගමුවේ නාලක හිමියන්ට උත්සව සභාවේ කෙටි අනුශාසනයකට ඉඩකඩ ලැබුණි. කංසා කතාව මෙහිදී මතුව ආවේය.

සිසිර ජයකොඩි මහතාද බෙංගමුවේ නාලක හිමිගේ ඉල්ලීමද සැලකිල්ලට ගෙන රටේ කංසා වගාව නීත්‍යානුකූල කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව පවසුවේය.

බෙංගමුවේ නාලක හිමියන් රටට ඉතාම ආදරේ කරන නිදහස් ජාතික සටනක් ආරම්භ කළ ස්වාමීන් වහන්සේ නමක් බවත් එනිසා ඒ හිමියන්ගේ සහ තවත් විද්වතුන්ගේ අදහස් සැලකිල්ලට ගෙන එම යෝජනා කරන ක්‍රමවේදය රට තුළ ස්ථාපිත කරන බව ද ඔහු පැවසීය.

අධ්‍යාපන ඇමතිත් කංසා වගා කිරීම ගැන කථා කරයි.

මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද කංසා ගැන කථා කළේය. ඒ අපනයන වගාවක් ලෙස කංසා වගා කළ යුතු බවය.  කංසා වගාව සඳහා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල සහාය ලබාගත හැකි බවත්, ආරක්‍ෂිත ක්‍රමවේද යටතේ මෙම වගාව සංවර්ධනය කළ යුතු බවත් හෙතෙම පැහැදිලි කොට තිබේ.

මෙය පශ්චාත් උපාධි පර්යේෂණාත්මක නිබන්ධනයක් මඟින් මේ බව පෙන්වා දී තිබෙන බවත් විස්මයට පත්වන සටන් කලාවක් සහිතව ඉතා ශක්තිමත් ලෙස අධිරාජ්‍ය විරෝධීන්ට එරෙහිව සටන්වැදීමට කංසා භාවිත කළ නිසා බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවේ කංසා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කළ බව පැවැසූ අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල කංසා ඉතා බහුල අපනයන භාණ්ඩයක් යැයිද පෙන්වා දී තිබු බව පහුගිය දිනවල මාධ්‍ය වලින් වාර්තා කළහ.

දේශීය වෛද්‍ය විද්‍යාතනයේ අදහස

ත්‍රෛයිලෝක්‍ය විජයා නම් වූ තුන් ලෝකයම ජය ගන්නා ඖෂධයක් ලෙස සිංහල ආයුර්වේදයේ සඳහන් කංසා දුමක් ලෙස භාවිතයට ගැනීම නිසා එය අවභාවිතාවක් සිදු වෙන බවත් මෙය අභ්‍යන්තරව ලබා ගන්නේ නම් ඖෂධයක් බවද දේශීය වෛද්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් කරුණාරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදි කියා සිටියේය.

එමෙන්ම කංසා වගා කිරීමෙන් ආර්ථික වාසි රැසක් ලබා ගත හැකි බවද ඔහු සඳහන් කර තිබුණි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියද කංසා වලට කැමති වෙයි.

වරෙක පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියද පාර්ලිමේන්තුවේදි කියා සිටියේ රටේ ණය පියවිමට නම් කංසා වගා කර ආර්ථික වාසි ලබා ගත හැකි බවය.

කංසා වගා කරන්න අවශ්‍ය නැති බව අගමැති කියයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පහුගිය ඔක්තෝම්බර් මස 07 වෙනි දින පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේ අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතා කරමින් කංසා වගාව පිලිබඳ ධනාත්මක ආකල්ප සහ විද්‍යා මත ඉදිරිපත් කරමින් විවිධ විද්වතුන් සහ වෘත්තිකයින් කටයුතු කරමින් සිටින බවත් නමුත් කංසා වගාව නීතිගත කිරිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවය.

සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය

කංසා වගාව නීතිගත කිරීම පිලිබඳ කථාව එම අවස්ථාවේ යටපත් වුවද දැන් නැවත කරළියට පැමිණ ඇත. ඒ සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය විසින් කංසා වගාව නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම නිසාය. එම සංගමයේ උපදේශක වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා  පැවසුවේ ලෝකයේ පවතින නීති වෙනස් වෙමින් යන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නීති ලිහිල් කර ඇති බවත්. ඒ අනුව ලංකාවේ ද මේ පිළිබඳ නීති ලිහිල් කිරීම කාලෝචිත බවයි ඔහු පවසයි.

සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සංවිධායක වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතාද පවසන්නේ

“වේදනා නාශකයක් ලෙස මෙය වසර ගණනාවක සිට භාවිත කර තිබෙනවා එහි වටිනාකම රජය පහදා ගත යුතුයි රජයට මේ සඳහා නීති ලිහිල් කරන ලෙස අපි ඉල්ලනවා මෙය සමාජයට තර්ජනයක් නෑ යනුවෙනි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඊයේ (03) දින මේ බව ප්‍රකාශ කළ අතර එහිදී  සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සභාපති පාරම්පරික වෛද්‍ය උපුල් දෑලබණ්ඩාර මහතා මෙසේ පැවසුවේය.

සිය දිවි හානි වැඩියි.

“දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට සිදු වූ දැවැන්තම හානිය වන්නේ කංසා තහනම් කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ රෝග ගණනාවකටම ඖෂධයක් ලෙස මෙය භාවිතා වෙනවා ලෝක ඉතිහාසයේ ද සෑම අංශයක මෙම භාවිතා වී තිබෙනවා ඉන්දියාවේ ජනතා ව්‍යාපාරයක් ලෙසයි මෙය පවත්වාගෙන යන්නේ.”

මොවුන්ගේ මෙම ප්‍රකාශ  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ දුම්කොළ මධ්‍යසාර හා නීති වීරෝධි ඖෂධ  පිලිබඳ විශේෂ කමිටුව පෙන්වා දෙන්නේ මෙය ඉතාම වැරදි යෝජනාවක් බවය.

එම කමිටුව කියා සිටින්නේ මෙම වත්මන් රජය පමණක් නොව පසුගිය වසරේදී ද එවකට සිටි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමන් ද මේ පිළිබඳව එවැනිම  ප්‍රකාශයක් කළ බවය. මෙම විෂය පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් පවා පසුගිය වසරේදී  ඉදිරිපත් කළ බව 2019 පෙබරවාරි 2 දින ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර තිබුණ බවද මෙම කමිටුව පවසයි.

මීට සමගාමීව, බොහෝ සමාජ මාධ්‍ය සටහන්  සහ වීඩියෝ මගින් ද ගංජා භාවිතය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් ලෙස ප්‍රවර්ධනය කිරීමට උත්සහ ගන්නා පවතිමින් සිටින අතර  රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ එක්ව ගංජා ආශ්‍රිත  තෙල් නිෂ්පාදනය කිරීමට පෞද්ගලික සමාගමක් විසින් කරන ලද යෝජනාවක් සහ ඒ වෙනුවෙන් ගංජා වගා කිරීම සඳහා විශේෂ නිල අවසරයක් ලබාගැනිමට කරනු ලබන උත්සාහයක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වෙමින් පවතින බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ දුම්කොළ මධ්‍යසාර හා නීති වීරෝධි ඖෂධ  පිලිබඳ විශේෂ කමිටුව ප්‍රකාශ කර සිටියි.

ගංජා භාවිතයෙන් සිදුවන මානසික විකෘති තත්ත්වය නිසා සිය දිවි හානි කරගැනීම් සහ ස්වයං හානිකර ගැනීම් බහුලව සිදුවදැනටමත් සියදිවි හානි කරගැනීම අතින් ප්‍රමුඛ ස්ථානයක ඇති ශ්‍රී ලංකාව තවදුරටත් අගාධයකට වැටීම වලක්වා ගතයුතුය.

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ, සාමාන්‍ය පුද්ගලයන්ගේ භාවිතය සඳහා ගංජා වගාව නීතිගත කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ද  දැවැන්ත පීඩනයක් පවතින මොහොතක වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක  පෙන්වා දි තිබේ.

ඇතැම් ආයුර්වේද ඖෂධ සඳහා පවතින අවශ්‍යතාවය සලකමින්,  ශ්‍රී ලංකාව තුල වෛද්‍ය භාවිතය සඳහා පමණක් ගංජා යොදාගැනීමට නීතියෙන් අවසර ලබා දී තිබෙන අතර  ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය  ඖෂධ  වෙනුවෙන්  ගංජා සැපයීමට දීර්ඝ කාලයක් පුරා පැවතෙන වැඩපිළිවෙලක් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන හෙයින්  ශ්‍රී ලංකාව තුළ ගංජා වගාව නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද මෙම විශේෂ කමිටුව මඟින් අවධාරණය කර සිටියි.

මෙහිදී, ආයුර්වේද වෛද්‍යවරුන්ට අවශ්‍ය සැපයුමේ හිඟයක් ඇත්නම් එම හිඟ අවශ්‍යතාවය ඉතා දැඩි කොන්දේසි යටතේ ආනයනය කිරීම වැනි  විකල්පයන් පිළිබඳව රජයට සොයා බැලිය හැකි බවත්  ඒ වෙනුවට ගංජා  වගාවට ඉඩ දුනහොත්  එය සාමාන්‍ය ජනතාව අතරට යාම වැළැක්විය නොහැකිවනු ඇති බවද මෙම වෛද්‍ය සංගමය පෙන්වා දී සිටියි.

මෙම විශේෂ කමිටුව පවසන ආකාරයට මේවනවිට ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය වන්නේ ගංජා ශාකය වේ. ලොව පුරා තරුණ තරුණියන් විසින් බහුලව භාවිතා වන නීති විරෝධී ඖෂධය ද මෙයය.

යම් රසායනිකයක් රෝගයකට ප්‍රතිකාර කිරීමේදී යහපත් බලපෑමක් ඇති කල ද එම රසායනය මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කිරීම සඳහා ඉඩලබාදීම සුදුසු නොවේ. උදාහරණයක් ලෙස, පොපි ශාකයේ සාරය සහ එහි රසායනික ව්‍යුත්පන්නයන් ලොව පුරා වේදනා නාශක ඖෂධ ලෙස බහුලව භාවිතා වේ. නමුත් මෙම ශාකයෙන්ම ලබාගන්නා හෙරොයින් මත්ද්‍රව්‍යක් ලෙස භාවිතය සඳහා ප්‍රවර්ධනය කළ යුතු බව කිසිවෙක් පවසන්නේ නැත.

එමෙන්ම, ගංජා ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය ඉහළ සාන්ද්‍රණ වලින්  ජනතාව විසින් පරිභෝජනය කරන විට මෙම රෝගී තත්ත්වයන් මෙන්ම අනෙකුත් රෝගාබාධ ද වැඩි වශයෙන් දැකගන්නට ලැබෙනු ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ ගංජා පරිභෝජනය අඩු කිරීම සඳහා සියලු පියවර ගන්නා ලෙසත්, දැනට ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට ඉඩ නොදෙන ලෙසත්  මෙම කමිටුව රජයෙන් ඉල්ලා සිටියි.

-ශානිකා-

 

Social Sharing
නවතම