
2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් පුද්ගලයකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
එම චෝදනාවලට වරදකරු වූ සිවිල් පුද්ගලයාට බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවමක් නියම කළ අධිකරණය, හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර තුන බැගින් වූ සිරදඬුවම් නියම කළේය.
වරදකරුවන් වූ විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
කෙසේවෙතත්, මෙම තීන්දුව සහ දඬුවම්වලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දී ඇත.
