ශ්‍රී ලංකාව තුළ වධහිංසනය තුරන් කරමු: වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දින සැමරුම සහ අපගේ වගකීම


වධ දීම සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීම්වලට ලක් වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි 26 දිනට යෙදී තිබිණි. 1997 දෙසැම්බර් 12 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් මත, ජුනි 26 වැනි දිනය වධහිංසාවට පාත්‍ර වූවන්ට සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ දිනය ලෙස 1998 වසරේ සිට ක්‍රියාත්මක වේ. රයිට් ටු ලයිෆ් (Right to Life) මානව හිමිකම් මධ්‍යස්ථානය 2004 වර්ෂයේ සිට මෙම දිනය නිමිත්තෙන් වධහිංසාවට එරෙහි ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමත්, වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයන්ට නෛතික හා මනෝසමාජීය සහාය දැක්වීමත් සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරයි.

වධහිංසනයට එරෙහි මාසය සහ අනුරාධපුරයෙන් නැඟෙන හඬ

මෙවර අපි මෙම දිනය නිමිත්තෙන් වධහිංසාවට එරෙහි මාසයක් නම් කරමින් විවිධ වැඩසටහන් කිහිපයක් පවත්වන්නට සැලසුම් කළෙමු. මෙහි පළමු සංවාදය “වධහිංසනය නැතුවම බැරි ද?” මැයෙන් පසුගිය මැයි 14 වැනි දින කොළඹදී පැවැත්විණි. ඉන් පසුව ජුනි 11 වැනි දින මොනරාගලදී ද මේ පිළිබඳව සංවාදයක් පවත්වන ලදි.

මෙවර අපි ජුනි 26 දින ප්‍රධාන සැමරුම අනුරාධපුර නගරයේදී පැවැත්වූවෙමු. ඒ සඳහා අනුරාධපුරය තෝරා ගැනීමට ප්‍රධාන කාරණා කිහිපයක් ම හේතු විය. ප්‍රසිද්ධ හිමි නමකගේ ලිංගික අපයෝජනයට ලක් වූ යැයි පැවසෙන දැරියගේ නඩුව ජුනි 26 වැනි දිනට අනුරාධපුර අධිකරණයේ විභාග වීමත්, ඒ සඳහා අපගේ නීතිඥයන් සහභාගි කරවීමත් ඊට එක් හේතුවකි. එදින සිවිල් සංවිධාන කිහිපයක් එක්ව දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට සහයෝගය දැක්වීම ද අපගේ අරමුණ විය. එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ දිනෙන් දින වර්ධනය වන ළමා අපචාරවලට එරෙහිව සමාජ අවධානයක් දිනා ගැනීමත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව අනුරාධපුරය ළමා අපයෝජන බහුලව වාර්තා වන දිස්ත්‍රික්කයක් බවට පත් ව තිබීමත් මීට තවත් හේතුවකි.

එමෙන්ම, අපගේ අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත වාර්තා වන පැමිණිලි අතුරින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අන්තරායකර ඖෂධ පනතේ 54 වගන්තිය යටතේ සිදු කර ඇති බොරු නඩු පැවරීම් සම්බන්ධවය. ඒ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් ඇරඹීමේ අරමුණ ද මෙම තෝරා ගැනීම පිටුපස විය.

වධහිංසනය තුරන් කිරීම උදෙසා පුළුල් සංවාදයක්

මේ විෂය පිළිබඳව තවත් වැදගත් සාකච්ඡාවක් ලබන ජූලි 02 වැනි දින පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ වධහිංසනය තුරන් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම අරමුණු කර ගනිමින්, පාර්ශ්වකරුවන්ගේ උපදෙස් විමසීම සඳහා පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, ස්වාධීන කොමිෂන් සභා නියෝජිතයන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

නීතිය සහ ප්‍රායෝගික යථාර්ථය අතර පරතරය

වධ දීම සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීම් අපගේ නීතියෙන් තහනම් කර තිබෙන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය. ඒ අනුව, රජයේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මඟින් කිසිවකු හට වධ දීම සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත ලෙස සැලකීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස තහවුරු කර තිබේ. එමෙන්ම, 1994 අංක 22 දරන පනත යටතේ ශාරීරිකව හෝ මානසිකව කිසිවකුට වධහිංසාවක් සිදු කිරීම අපරාධ වරදක් බවට ද පත් කර ඇත. නමුත්, දශක ගණනාවක සිට මේ නීති පැවතිය ද, ඇතැම් නිලධාරීන් මෙම නීති තඹසතයකට මායිම් නො කරමින් කටයුතු කරන බව දිනෙන් දින වාර්තා වන සිදුවීම් හරහා පෙනී යයි.

කෲර වධහිංසාව හා අමානුෂික ලෙස සැලකීම කිසිසේත් නො ඉවසන (Zero tolerance of torture) රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ගිවිසුම්ගතව ඇති නමුත්, පොලිසිය, බන්ධනාගාර, පාසල් පද්ධතිය ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍ය දේහය තුළ පවතින වධහිංසාව වළක්වා ගැනීමට රජය තවමත් අපොහොසත් ව තිබේ.

ජාත්‍යන්තර මැදිහත්වීම සහ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ

1994 වසරේදී වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කළ ශ්‍රී ලංකාව, එම ප්‍රඥප්තිය 1994 අංක 22 පනත මඟින් අපගේ දේශීය අපරාධ නීතියට ඇතුළත් කළාය. ඉන් අනතුරුව 2017 වසරේදී වධහිංසාවට එරෙහි වෛකල්පිත ප්‍රොටෝකෝලයට (OPCAT) ද ශ්‍රී ලංකාව අත්සන් තැබුවාය. එම ප්‍රොටෝකෝලය අනුව, වධහිංසාව වැළැක්වීම සඳහා ජාතික නිවාරණ යාන්ත්‍රණයක් (National Prevention Mechanism – NPM) ශ්‍රී ලංකා රජය විසින් ස්ථාපිත කළ යුතු ය. මේ වන විට එම යාන්ත්‍රණය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හරහා ස්ථාපිත කර තිබේ. එම යාන්ත්‍රණයට, වධහිංසාව වැළැක්වීම සඳහා රජයට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ලබා දීම සහ ඕනෑම රැඳවුම් මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීම ඇතුළු බලතල රාශියක් හිමි ව ඇත.

එපමණක් නොව, මෙම ප්‍රොටෝකෝලයට අත්සන් තැබීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි අතුරු කමිටුවට (Subcommittee on the Prevention of Torture – SPT) ශ්‍රී ලංකාව තුළට පැමිණ, මේ යාන්ත්‍රණ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව නිරීක්ෂණය කිරීමටත්, අදාළ පාර්ශ්වයන් මුණගැසී තොරතුරු ලබා ගැනීමටත්, රැඳවුම් ස්ථාන නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව ලැබී තිබේ.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි අතුරු කමිටුව (SPT) පසුගිය ජුනි 14 වැනි දින සිට ජුනි 24 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරමින්, ශ්‍රී ලංකාවේ වධහිංසා තත්ත්ව හා වධහිංසාව වැළැක්වීම සඳහා ජාතික නිවාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නිරීක්ෂණයේ යෙදුණාය. මීට පෙර මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ 2019 වසරේදීය. මෙවර පැමිණි කමිටුව, මහජන නියෝජිතයන්, වින්දිතයන්, මානව හිමිකම් සංවිධාන, මානව හිමිකම් ආරක්ෂකයන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් වෙන වෙන ම මුණගැසී තොරතුරු ලබා ගැනීමත්, රැඳවුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමත් මේ කාලය තුළ සිදු කළේය. ඉන් පසුව ඔවුන්ගේ රහස්‍ය වාර්තාව රජය වෙත ඉදිරිපත් කළ යුතු ය.

පසුගිය ජුනි 29 වැනි දින එම කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, වධ දීම සහ අනෙකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැලකීම්වලට එරෙහිව ඵලදායී ජාතික වැළැක්වීමේ යාන්ත්‍රණයක් ඉතා ඉක්මනින් අවශ්‍ය බවයි.

වධහිංසනය පිටුදැකීම සඳහා ‘රයිට් ටු ලයිෆ්’ ආයතනයේ යෝජනා

මෙම ක්‍රියාවලියට සමගාමීව, එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි අතුරු කමිටුව (SPT) වෙත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වාර්තාවක් ලබා දෙමින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කළේය:

  • 1994 අංක 22 දරන පනත යටතේ වධහිංසා පමුණුවන්නන්ට එරෙහිව සක්‍රියව අපරාධ නඩු පැවරීම.
  • දීර්ඝකාලීන සහ අත්තනෝමතික රක්ෂිත බන්ධනාගාරගත කිරීම් වැළැක්වීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ මත්ද්‍රව්‍ය නීති වහාම සංශෝධනය කිරීම.
  • මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීම සඳහා දැනට පවතින සීමාකාරී දින 30ක කාල සීමාව අහෝසි කිරීම.
  • සියලු ම පොලිස් ස්ථානවල මකා දැමිය නො හැකි CCTV නිරීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කරන නිලධාරීන් සඳහා ශරීරයේ පැළඳිය හැකි කැමරා (Body-worn cameras) අනිවාර්ය කිරීම.

 

පිලිප් දිසානායක, විධායක අධ්‍යක්ෂ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

Social Sharing
අවකාශය පුවත්